පොල් ගෙඩි 8 ගැන නෑසූ කතාව

නයි නලඟනගේ සිද්ධියෙන් පසු පසුගියදා ලංකාවේ ජාතික පුවත්පත් වල ප්‍රධාන පුවතක් වූයේ පොල් සොරකමක් කල දැරියක් පිළිබඳ පුවතකි.

සොරකම් කළ දැරියට දැරියට ඒ වෙනුවෙන් තෑගි බෝගද ලැබුණි. රටේ ජනමාධ්‍ය විසින් නයි නළඟන තරුවක්‌ කළා සේම මේ ළමයාවද ලිට්‌ල් ස්‌ටාර් කෙනෙකු කර ඇත.

මෙම සිද්ධියේ සෑබෑවටම සිදුවූයේ කුමක්ද යන්න එම පොල් වත්තේ හිමිකරු හා දැරියගේ මව හමුවී ඊයේ දිවයින පුවත්පතින් හෙළිකර තිබුණි. එම හෙළිකිරීම පහතින්.


පොල් ගෙඩි අටක මේ පුංචි හොරකම ඇයි ඔබ පොලිසියට අරගෙන යන්න තීරණය කළේ. සමථ මණ්‌ඩය හරහා සමථයකට පත් කර ගන්න තිබුණ නේ...?

මටත් දරුවෙක්‌ ඉන්නවා. මමත් කැමති නැහැ තව ළමයෙක්‌ව පොලිසි ගානෙ ගෙනිහින් අපහාසයට ලක්‌ කරන්න. විශේෂයෙන්ම ගැහැනු දරුවෙක්‌ව. මේ ළමයාගේ හොර වැඩේ අද නවත්වයි, හෙට නවත්වයි කියලා බලාගෙන හිටියා. ඒත් එහෙම වුණෙ නැහැ. දිගින් දිගටම කළා.

මේ සිද්ධිය වුණ දවසෙත් මම ඒ ළමයවයි පොල් ගෙඩි ටිකයි අරගෙන ඒ ළමයාගේ ගෙදරටම ගිහින් ළමයාගෙ අම්මට කිව්වා. ඒ අම්මා කළේ දරුවට තරවටු කරනවා වෙනුවට මට බැණ අඬගැහුව එකයි. ඉතිං මම නීතියේ පිහිට පතන්නෙ නැතුව වෙන මොනව කරන්නද..

මෙතැන වැරැද්ද ළමයාගෙ නෙමෙයි. දෙමව්පියන්ගේ. ඒ දෙමව්පියෝ දැනගන්න ඕනා ළමයින්ව හරියට හදාගන්න. මේක එක දවසක්‌ නෙමෙයි දිගින් දිගටම කෙරෙන වැඩක්‌ නේ. මේ ළමයගේ තාත්තා ගල්කොරියක වැඩ කරන කෙනෙක්‌. දවසකට සැලකිය යුතු මුදලක්‌ පඩියක්‌ විදිහටත් ගන්නවලු. නමුත් ගන්න පඩිය භාගයක්‌ වියදම් කරන්නෙ අරක්‌කු වලටලු.

ඉතිං බලන්න එහෙම අරක්‌කුවලට වියදම් කරන සල්ලි ළමයින්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් වියදම් කළා නම් අද මේ ළමයා මෙහෙම හොරකම් කරන්න පෙළඹෙන්නෙ නැහැනේ. මම නැවත කියන්නෙ මේවා දෙමව්පියන්ගේ වරදින් වුණු දේවල්. ඒත් අන්තිමේ සමාජයෙන් අපහාස වින්දෙ අපියි. මේවට තමයි කියන්නෙ මහත්තයො වඳින්න ගිය දේවාලෙ හිසට කඩා වැටුණා කියලා.

ඔබ කියන්නේ මේ චෝදනාවට දැන් ඔබයි වැරැදිකාරයා වෙලා තියෙන්නෙ කියලා නේද?

ඒක ඉවරයි.... උසාවිය තීන්දුවක්‌ දීලා තියෙනවා. අපි නීතියට ගරු කරන මිනිස්‌සු.

මීට පෙරත් මේ ළමයා ඔබේ වත්තට පැනලා පොල් කඩාගෙන ගිහින් තියෙනවා කියලා ඔබේ කතාවෙන් අපට පැහැදිලි වෙනවා...?

මට ඒකට දැන් උත්තර දෙන්න බැහැ... ගමේ මිනිස්‌සු එක්‌ක කතා කළොත් ඕකට හොඳ උත්තරයක්‌ ගන්න පුළුවන්. ග්‍රාම සේවක මහත්තයාගේ ඉඳලා ගමේ මිනිස්‌සු සේරම මේ ළමයාගේ කල්කිරියාව හොඳටම දන්නවා. යන්න ගිහින් ගමේ මිනිස්‌සුත් එක්‌ක කතා කරන්න. හොඳ හොඳ උත්තර ලැබෙයි.

ඒ කියන්නෙ මේ ළමයා ගමේ තවත් වතුවලට පැනලා හොරකම් කරනවා කියන එක නේද?

ගමේ මිනිස්‌සුත් එක්‌ක කතා කරලා බලන්න මහත්තයෝ...

හරි... ඔබට මේ පැමිණිල්ල උසාවියට ගෙනි යන්නෙ නැතුව පොලිසියෙන් බේරගන්න තිබුණා නේ...?

මම පොලිසියට ගිහින් පැමිණිල්ල දැම්මා. පොලිසිය ඒ පැමිණිල්ල උසාවියට ඉදිරිපත් කළා. මේ චෝදනාව පොලිසියට විසඳන්න බැරි නිසා උසාවියට දාන්න ඇති.

අපි පොලිසි ගියේ මේ ළමයාව හිරෙ විලංගුවෙ දාන්න නෙමෙයි. පරිවාසෙට දාලා හරි ළමයට යහපතක්‌ කරන්න කියලා හිතාගෙනයි. ගමේ හැමෝම කතා බහ කළේ මේ ළමයාව හොඳ මාර්ගයට ගන්නයි. ඇත්තටම දැන් අපි බලාපොරොත්තු වුණු දේ වුණා. ඒ ළමයට විතරක්‌ නෙමෙයි මුළු පවුලටම යහපතක්‌ වෙලා තියෙනවා. ගෙවල් දොරවල් හදා දෙන්න මිනිස්‌සු ඉදිරිපත් වෙලා ඉන්නවා. ළමයට උගන්වන්න තව අය ඉදිරිපත් වෙලා ඉන්නවා.

දැන් ඔක්‌කොම හරි ළමයා නිවැරැදියි. අපි වැරදියි. වැරදි කරන අයටත් හොඳ නම්, රටේ මිනිස්‌සුන්ටත් වැරදි කරන අය හොඳ නම් මටත් හොඳයි. දැන් ඉතිං ඒ ගැන කතා කරලා වැඩක්‌ නැහැ. අපහාස විඳලා හරි අපිත් පිනක්‌ කරගත්තා කියලා හිත හදා ගන්නවා.

මාධ්‍ය කඩකාරයන් විසින් මේ පොල් 'හුටපටය' දැන් චිත්‍රපට කතාවක්‌ කර හමාරය. ඒ චිත්‍රපට කතාවේ චන්ද්‍රසේන මහතා ද ප්‍රධාන භූමිකාවක්‌ රඟදැක්‌වු 'දුෂ්ඨ නළුවෙකි.' චිත්‍රපටයේ කතාව ගැන මාධ්‍යයට, මැති ඇමැතිවරුන්ට, මෙන්ම තවත් බලධාරීන්ට කරුණු දැක්‌වීමට ගොස්‌ දැන් ඔහු සිටින්නේ ජීවිතයත් එපා වෙලාය.

එහෙයින් තවත් අපි ඔහුව අපහසුතාවට පත් නොකර මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ගැන ගම්වාසීන් කියන කතා දැන ගැනීමට අපි අරණාගොල්ල ගම්මැද්දට ගියෙමු. එහිදී අපට ගම්වාසීන් කිහිප දෙනෙක්‌ සමගම කතා බහා කිරීමට අවස්‌ථාව ලැබිණි. ප්‍රථමයෙන් අපි ගම්වාසී කාන්තාවක්‌ කියූ කතාව අසා සිටිමු.

"මේ කෙල්ල යකෙකුටවත් බය නැති කෙල්ලක්‌. හවස හයට හතටත් ගස්‌ උඩ යනවා. එක දවසක්‌ හවසක මම ගේ ඇතුළෙ ඉඳල එළියට එනකොට කෙල්ල අපේ ගේ ඉස්‌සරහා පුවක්‌ ගහේ. කෙල්ල ගහේ ඉන්නවා දැක්‌කට මම කෑගැහුවෙත් නැහැ. මට බය හිතුනා කෙල්ල කලබල වෙලා වැටෙයි කියලා.

මම අපේ දුවටත් කතා කරලා පෙන්නුවා. අපි ඒ ළමයා ගහෙන් බහිනකම් බලාගෙන හිටියා. පොල් කඩන මිනිහෙක්‌වත් ඒ ගහට යන්න බයයි. ඒ තරම් ගහ උසයි හීනියි. අර තියෙන්නෙ අන්න අර ගහ" පුවක්‌ ගස්‌ පෙළක්‌ අතරින් උසම ගස ඇය අපිට පෙන්නුවාය.

"ගහෙන් බැස්‌සට පස්‌සෙ අපි ඒ ළමයාගෙන් ඇහුවා ඇයි අපේ ගහේ පුවක්‌ කැඩුවේ කියලා. එතකොට ළමයා කිව්වා ගාල්ලේ ලොකු අම්මලාගේ ගෙදර දානෙට ගෙනියන්න කියලා. අමූලික බොරුවක්‌. මේ අවට ගෙවල්වල දොර ජනෙල් වහල තියෙනකොට මේ ළමයා වත්තට පැනලා පොල් ගස්‌වලට නැඟලා ගෙඩි කඩාගෙන යනවා.

පොල් කඩන්නෙත් නියම හොරෙක්‌ විදිහට තමයි. එක ගෙඩියක්‌ කඩලා දාලා අනිත් ගෙඩිය දාන්නේ ටික වෙලාවකට පස්‌සෙයි. කවුරු කියා දීලාද? කොහෙන් ඉගෙන ගෙනද දන්නෙ නැහැ. පොඩි කමට නෙමෙයි ඒ තරම් පරිස්‌සමට වැඩේ කරනවා. මේ ළමයාට පුවක්‌ පොල් නම් පෙන්වන්න බැහැ"

"තව දවසක්‌ අපේ ගේ ඇතුළට ඇවිත් අම්මාගේ 'පර්ස්‌' එක හොරකම් කරලා තිබුණා. කොහොමහරි ළමයාව අපිට සැක හිතිලා අහනකොට හංගලා තිබුණු තැනකින් ගෙනත් දුන්නා. ඒත් අපි පොලිසියට ගියේ නැහැ. ගමේ මිනිසුන්ගේ මොන දේ හොරකම් කළත් කවුරුවත් පොලිසියට ගියේ නැහැ. ඒක තමයි අපි කරපු වරද?

අපි මුලින්ම පොලිසියට ගියා නම් මේවා මුලදිම නතර කරගන්න තිබුණා. එහෙම වුණා නම් මේ විදිහට ගම හැල්ලුවට ලක්‌වෙන්නෙත් නැහැ. පොල් හොරකම තමයි ඔය ළමයට විරුද්ධව මුලින්ම පොලිසියට අරගෙන ගියේ. අනේ දැන් ඒ මනුෂ්‍යයා ඉන්නෙ හොඳටම බය වෙලා. මේ ළඟදී දවසක ඉස්‌කෝලෙ පින්සිපල්ටත් කවුද ඇවිත් තර්ජනය කරලා ගියාලු."

"ඒක නම් වෙන කතාවත්"

ඇයගේ කතාවට තවත් ගම්වැසියෙක්‌ අත්වැල අල්ලමින් 'පොල් චිත්‍රපට කතාවේ' තවත් ප්‍රධාන නළුවකු වන විදුහල්පතිතුමාගේ අලුත්ම රඟපෑමක්‌ ගැන මෙසේ විස්‌තර කරන්නට පටන් ගත්තේය.

"කවුද පිරිසක්‌ ඇවිත් ඉස්‌කෝලේ පින්සිපල්ට තර්ජනය කරලා කියලා කතාවක්‌ තිබුණා. ඒ කතාව බොරුවක්‌. එයාට ප්‍රසිද්ධ වෙන්නයි රටේ මිනිස්‌සුන්ගේ අනුකම්පාව දිනාගන්න විදුහල්පතිතුමා දැනුවත්ම තමයි එහෙම කරගෙන තියෙන්නෙ.

"ඇත්තටම ඉස්‌කෝලෙ ඩෙස්‌ පුටු පේන්ට්‌ කරන්න කියලා ළමයින්ගෙන් රුපියල් 800 ක්‌ එකතු කරලා තියෙනවා. නමුත් මේ ළමයගේ මව්පියෝ දුප්පත් නිසා ඉස්‌කෝලෙ වැඩවලට මේ ළමයගෙන් සල්ලි අරගෙන නැහැ. හරියට පරීක්‍ෂණයක්‌ කරනවා නම් විදුහල්පතිව ගෙදර යවන්නත් පුළුවන්. ඇයි පාසලේ වැඩවලට ළමයින්ගෙන් මුදල් එකතු කරන්නේ. එහෙම කළේ නැහැ කියන්න බැහැ. පාසලේ ගුරුවරුන් හතර දෙනකුගෙන් යුත් කමිටුවක්‌ පත් කරලා තමයි මේ මුදල් එකතු කරලා තියෙන්නෙ.

මහ ඇමැතිතුමා කියනවා මෙච්චර මුදලක්‌ මේ පාසලට වෙන් කරලා තියෙනවා කියලා. එහෙම තියෙද්දීත් ඇයි ළමයින්ගේ දෙමව්පියන්ගෙනුත් මුදල් එකතු කරන්නේ. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. මේ ළමයින්ගෙන් එකතු කරපු සල්ලිවලට මොකද වුණේ කියලා හරි නම් වෙනම පරීක්‍ෂණයක්‌ කරන්න ඕනා. ඒවා යට ගැහෙනවා"

"මේ විදුහල්පතිතුමා පාසලේ ළමයින්ට මරු නීති තමයි දාලා තියෙන්නෙ. එයා කියන පොත් සාප්පුවලින් තමයි ළමයි පොත් ගන්න ඕනා. ඊට අමතරව ඉස්‌කෝලෙ ළමයින්ට විදුහල්පතිතුමා නියම කරපු බෑග් එකක්‌ තියෙනවා ඒ බෑග් එක අනිවාර්යෙන්ම පාසලේ සෑම ළමයෙක්‌ම ගන්න ඕනා. ඒ බෑග් එක හදවලා විකුණන්නේ විදුහල්පතිතුමාගේ පුතා. බෑග් එක ගත්තෙ නැත්නම් ළමයින්ට පාසලට එන්න දෙන්නෙ නැහැ.

ළමයි වෙනත් බෑග් එකක පොත් දාගෙන ආවොත් හවසට ළමයට ගෙදර යන්න වෙන්න පොත් ටික අතේ අරගෙන. ප්‍රින්සිපල් බෑග් එක තියාගන්නවා. අපි අධ්‍යාපන සේවා ඇමැතිතුමාගෙන් ඇහුවා පාසල්වලට බෑග් එකක්‌ නියම කරලා තියෙනවද කියලා. එතුමා ගත් කටටම කිව්වා එහෙම දෙයක්‌ නියම කරලා නැහැ, කිසිම පාසලකට වෙන වෙනම බෑග් වෙන් කරලත් නැහැ කිව්වා."

"පාසල් සපත්තුවලටත් ඒ කතන්දරයම තමයි. විදුහල්පතිතුමා කියන සාප්පුවෙන් විතරයි සපත්තු ගන්න ඕනා. ඒ පාවහන් වෙළෙඳසලෙන් විදුහල්පතිතුමාට කොමිස්‌ එකක්‌ ගෙවනවා. විදුහල්පතිතුමා නම් කියන්නේ ඒ ලැබෙන කොමිස්‌ මුදලෙන් පාසලේ දුප්පත් ළමයින්ට සපත්තු අරන් දෙනවා කියලයි.

ඒත් කවමදාකවත් පාසලේ ළමයෙකුට අරන් දීපු සපත්තුවක්‌ නැහැ. කොළඹ සුපිරි පාසලකවත් මේ වගේ නීති නැහැ. ළමයින් මේ පාසලට ඇවිත් ඉගෙනගන්නේ විදුහල්පතිතුමාගේ ඔය සේරම නීතිවලට යටත් වෙලා තමයි. මේවා හොයන්න කිසිම අධ්‍යාපන බලධාරියෙක්‌ නැහැ"

කතාව හරිම ෂෝක්‌ය. පොල් 'හුටපටය මැද්දෙන් දැන් තවත් 'ලටපට' මතුවෙමින් තිබේ. ගම්මු කියන 'ලටපට' අස්‌සේ අපි පොල් 'හුටපටේ' ප්‍රධාන සැකකාරියගේ නිවස සොයා යමු.

අපි ඒ නිවසට යන විටත් අපේ කතා නායිකාව බයිසිකලයක්‌ පදිමින් සිටියාය. අප නිවසට ඇතුළු වී අසුන් ගත් විට ක්‍ෂණයෙන් ඇය අප ඉදිරියේ පෙනී සිටියාය.

දුවේ ඔයාගේ නම මොකක්‌ද?

'මහේෂිකා' කියා ඇය අප අසලින් දිව ගියාය.

මොකක්‌ද මේ පොල් ගෙඩි අටක සිද්ධිය...

අපට නිවස තුළට ආරාධනා කළ ඇයගේ මවට අපි එසේ පැනයක්‌ යොමු කළෙමු.

"ඔන්න ඔහොම කතාවක්‌ තිබුණා... දැන් නඩුවත් ඉල්ලා අස්‌ කරගත්තා කියලා රේඩියෝ ඒකෙ කියනවා ඇහුණා. අපි නම් නඩුවටවත් ගියේ නැහැ"

එහෙම නම් දැන් පොල් නඩුව ඉවරයි නේ.. වෙච්ච දේත් මුළු රටම දන්නවා නේ. මේ ගමේ මිනිස්‌සු කියනවා මේ ළමයා වතුවලට පැනලා ගස්‌වල තියෙන ගෙඩි හොරෙන් කඩාගෙන යනවා කියලා. ඒ කතාවේ ඇත්ත නැත්ත මොකක්‌ද?

"හරි මහත්තයෝ මේ සිද්ධිය වුණාට පස්‌සෙනේ මේ ගමේ උන්ට ඇහැරිලා තියෙන්නෙ. පහුගිය ඉරිදා ගමේ ආරක්‍ෂක කමිටුව තිබ්බා. ඒකට ගමේ ග්‍රාමසේවක රාළහාමි ආරක්‍ෂක කමිටුවේ සභාපති, ලේකම්තුමා එහෙමත් ඇවිත් හිටියා. මමයි අපේ මහත්තයත් ගියා. පොල් වත්තේ අයියත් ඇවිත් හිටියා. ඒ කමිටුවට ඇවිත් හිටපු පොලිසියේ ලොකු මහත්තයෙක්‌ පොල්වත්තේ අයියගෙන් ඇහුවා ඔයාගේ වත්තෙන් මේ ළමයා මාස කීයක තිස්‌සේ ඉඳලා හොරකම් කරනවද කියලා.

එයා කිව්වා අවුරුදු එකහාමාරක්‌ තිස්‌සේ ඉඳලා වත්තේ බඩු හොරකම් කරනවා කියලා. එතකොට මම නැගිටලා ඇහුවා අයියේ.. ඔච්චර කාලයක ඉඳලා ඔයාගේ බඩු හොරකම් කළා නම් ඔයාට තිබුණානේ මේ ආරක්‍ෂක කමිටුවට හරි දැනුම් දෙන්න කියලා. එතකොට එයාගේ කට වැහුණා. ඔය දැන් කියන කිසිම හොරකමක්‌ ගැන ඉස්‌සර කවුරුවත් කියන්න ආවේ නැහැනේ. දැන්නේ මේ ගමේ උන් සේරම ළමයාට කතන්දර කියන්න එන්නේ.

මේ දරුවා ගස්‌ නගිනවා ඔබ දැකලා තියෙනවද?

මෙයාට ගස්‌ නගින්න බැහැ. අපි ළමයාව සුද්ද කරනවා නෙමෙයි. ළමයා අනුන්ගේ වතුවලට ගිහින් පොල් ගෙඩියක්‌ පුවක්‌ ගෙඩියක්‌ අහුලලා කඩවලට විකුණනවා කියලා අපි දන්නවා. ළමයා එහෙම විකුණලා ටොපි, වඩේ, තෝසේ කනවා. ගෙදරට නම් ශත පහක්‌වත් ගේන්නෙ නැහැ. ළමයා බය නැතුව කඩේට බඩු ගෙනියන්නේ කඩකාරයෝ බඩු ගන්න නිසානේ මහත්තයෝ. මෙතැන වැරැදි කඩකාරයෝ..."

ඒ මවගේ කතාව එවැන්නකි. කතාව නම් හරිම අපූරුය. වරෙක කැකිල්ලේ නඩු තීන්දුවටත් හපන් කතාවකි. තම දරුවා වැරැදි මගෙන් මුදගැනීමට තවමත් ඒ මවට උවමනාවක්‌ නැති සේය. පුංචි හෝ යහපත් සිතුවිල්ලක්‌ තිබුණා නම් තම දරුවා ගෙන එන හොර බඩු ගන්නා කඩහිමියන් වැරැදි කියන්නේ නැත. තවමත් ඇය තම දරුවා නිවැරදි කරයි. එමෙන්ම තම දරුවා කළ අකටයුතුකමට සමාජයෙන් ලැබුණු අනුම්කපාව මුසු වූ ප්‍රසිද්ධිය ඔවුන්ගේ බඩ වඩා ගැනීමට 'සෙත් කවියක්‌' කරගෙන තිබෙන බවක්‌ පෙනේ.

සමාජයේ දරුවන්ට අගේ ඇති පූර්වාදර්ශයක්‌ ලබාදෙමින් කතාව එසේ නිමාවට පත් විය.

අපි කතාව නිම කිරීමට පෙර මේ වචන ටික මෙසේ පෙළ ගස්‌වමු. රටේ හොරකම් කරන දේශපාලුවන්ට ආණ්‌ඩුව සුදු හුණු ගානවා සේම, සමාජයද මේ ළමයා කළ හොරකම සාධාරණීකරණය කර අනුකම්පාවත් සමග තෑගි බෝගද ලබාදී ඇත. රටේ මාධ්‍ය කඩකාරයෝ නයි නළඟන 'තරුවක්‌' කළා සේම මේ ළමයාවද 'ලිට්‌ල් ස්‌ටාර්' කෙනෙක්‌ කරන්නට යන්නේය. දැන් ආණ්‌ඩුව, රටේ මිනිස්‌සු, 'මාධ්‍ය කඩ තකට තක' සෙට්‌ වී සතුටු සාගරයේ දිය බුන් ගසමින් සිටිති.

එවැනි වටපිටාවක හෙට ළමයෙක්‌ හෝ ලොකු එකෙක්‌ ඔබේ නිවසට පැන ඔබේ සබ්බසකලමනාවම අතගාගෙන ගියද කලබල නොවන්න පොලිසි නොයන්න එසේ කළොත් රටේ උදහසට ලක්‌වන්නේ ඔබය.

නමුත් දැරිය කියන්නේ තවත් කතාවකි. එම කතාවට මෙතනින්.

Related Posts Plugin for WordPress, Blogger...