මාතර කැකණදුරම බයෙන් වෙව්ලන සුදු ඇඳි කත

මින් ඉහතදී අප විසින් මාතර කැකනදුර ප්‍රදේශයෙන් මතුවූ අත්භූත කාන්තාවක් හේතුවෙන් මතුවූ ආන්දෝලනාත්මක තත්වය පිලිබඳ පුවතක් ඔබ වෙත ගෙන ආ අතර පහතින් දැක්වෙන්නේ ඒ පිලිබඳ ලියවුනු සවිස්තර පුවත්පත් වාර්තාවකි.

"එදා හරියටම වෙලාව රෑ10.00 ට විතර ඇති. මම යාලුවෙක්ගෙ ගෙදර ඉඳල එන ගමන් හිටියේ. හරියටම එදත් අලුත්ම පිදේනි තට්ටුවක් ඇල අයිනේ ගෙනත් තියල තිබුනා. මුළු පළාතෙන්ම දැනුනේ පිළුණු ගඳ විතරයි.

වෙලාවත් හොඳ නැති නිසා මගේ හිතට කවදාවත් නැති පුංචි බයක් දැනුනා. හරියටම ඇල බෙදුන තුන්මං හන්දිය ලඟදි එකපාරටම මගේ බයිසිකලේට කවුරුහරි ගොඩවෙනවා වගේ දැනුනා ඒ වෙනස මගේ ඇඟට පවා දැනුනා.


මං උත්සාහ ගත්තා. එත් බයිසිකලේට ඉදිරියට යන්න බැරිතරම් මොකද්දෝ අමුතු බලවේගයක් විසින් මාව පසුපසට අදිනවා වගේ දැනුනා. හිතාගන්නවත් බැරි තරම් මගේ අත් පා දරදඬු වෙලා තිබුනේ. ඉස්සරහට එන්න බැරිව අන්තිමට බයිසිකලෙත් එක්ක මාව ඇලට වැටුන. මට හිතුනෙම කවුරුහරි කෙනෙක් එකපාරටම මගේ බයිසිකලයට ගොඩවුනා කියලමයි. මම බයිසිකලේ ඇලේ තියෙද්දීම ගෙදර ගියා.

ඇලට වැටෙද්දී මගේ ඔලුව තුවාල වෙලා තිබුනා. හනිකට ගෙදර ඇවිත් කිහිප දෙනෙක් එක්ක ඇලට ගියා. බයිසිකලේ විතරක් තියනවා. ඇලට වැටුන කෙනෙක් පෙන්න හිටියේ නෑ. මොකද්ද වුනේ කියල මේ වනතුරුත් මට හිතා ගන්නවත් බෑ "

විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වූ අනුර පල්ලියගුරු මහතා
ඔහුගේ අත්දැකීම් හෙළිකොට තිබුනේ එලෙසිනි.

කැකණදුර තල්පාවිල බෙදුම් ඇල අසල සාම දිනකම පිදේනි තටුවක් වරදින්නේ නැති තරමටම බණ්ඩාරනායකපුර ප්‍රදේශය අවට අද්භූත බලවේග ක්‍රියාත්මක වෙමින් ඇත. ගම වටා තැන තැන කැපුන අනවින, හදිහුනියම්, බලිතොවිල් තල්පාවිල ඇල වටා ගොඩගැසෙන්නේ දැන් දීර්ඝ කාලයක සිටමය. මේ දසුන ඇල අවට ගම්වාසීන්ට සාමාන්‍යයක් වුවත් දැන් දින කිහිපයක සිට මේ සාමාන්‍ය තුල අසාමාන්යයක් වර්ධනය වෙමින් තිබේ. 


තල්පාවිල බෙදුම් ඇල අසල සැරිසරන අද්භූත ගැහැනියක් පිලිබඳ අරුම පුදුම ආරංචිය ගම පුරා පැතිර යන්නට ගතවුයේ නිමේෂයකි. දෘශ්‍යමාන නොවුනත් පල්ලියගුරු මහතාගේ බයිසිකලයට ගොඩවී තිබුනේද එකී කාන්තා භූත ආත්මය බව ඔහුගේ විශ්වාශය විය. ඉර හැරී හෝරා කිහිපයක් ගෙවුන කල ගොම්මන් අදුරෙහිත් රාත්‍රී කාලයේත් බෙදුම් ඇල පසුකර යන කැකණදුරවාසීන්ට මේ අදෘශ්‍යමාන බලවේගයට මුහුණදීමට සිදුවන බව ගම්වාසීන්ගේ මතයයි.


මේ අමුනුෂ්‍ය ස්ත්‍රීය අවේලාවේ ඇල අසබඩින් ගමන් ගන්නා මිනිසුන් පසුපසින් පැමිණෙන බවත් ඇල පසුකර යන වාහනවලට අත දමා ඒවා නතරකර ගැනීමට උත්සාහ ගන්නා බවත් අදෘශ්‍යමාන බලවේග දෘශ්‍යමාන වූ ප්‍රදේශවාසීන් තැන තැන කතා කරන්නට විය.

ඇය සුදු ඇදුමින් සැරසී සිටියි. මනුෂ්‍ය රූපයකට වෙනස් විකාර රූපී මුහුණක් සහිත ඇය දෘශ්‍යමාන වුයේ පිරිමින් අභියසදී පමණි. ටික වේලාවකදී මේ අදෘශ්‍යමාන ස්ත්‍රිය නොපෙනී යන බවටද භූතාත්මය අත්දුටු ගම්මුන් අපට පැහැදිලි කරදෙන්නට විය. 


දැන් මෑතක සිට තල්පාවිල බෙදුම් ඇලට වැටෙන ත්‍රීවීල්, මෝටර් සයිකල්වල ප්‍රමාණයද වැඩි බව සිද්ධිය ඇසින් ඇය පෙන්වදෙන්නට විය. 

"මගේ මහත්තය සේවය කරන්නේ නාවික හමුදාවේ. එයා උදේපාන්දර 3 ට විතර කැකණදුර හන්දියට පයින් යනවා බස් එකට නගින්න.. ඔය කියන ඇල කිට්ටුවදී සුදුපාට ඇඳගත්තු ගෑනු කෙනෙක් මහත්තයගෙන් අහල තිබුනා ' බස් එකටද යන්නේ..? ' කියලා. එහෙම අහල මහත්තය එක්කම කතා කර කර ගියාලු. එත් මහත්තයට ඒ මනුස්සයාගේ අමුත්තක් දැනිල පිටිපස්ස හැරිලා බලලා තිබුනා. එතකොට දකින්න ලැබිල තිබුනේ මනුස්ස රුපයට රුපයට වෙනස් අසාමාන්‍ය රුපයක් එකපාරටම විශාල වෙලා නොපෙනී යන දර්ශනයක්ලු." 


කැකණදුර බණ්ඩාරනායකපුර ප්‍රදේශයට ආසන්න රිට් රිට් පාර්ක් හි පදිංචි නිලන්ති පුෂ්පිකා මහත්මිය අප ඉදිරියේ පැවසුවේ සිය සැමියාට අත්විදින්න ලැබුන සිදුවීමකි.


මීට වසර කිහිපයකට ඉහතදී තල්පාවිල බෙදුම් ඇල සමීපයේදී බස්රථයකට අත දැමු කාන්තාවක් එම බස් රථයටම හසුවී මියගොස් තිබිණි. ගම්මුන් විශ්වාස කරන පරිදි මේ සැරිසරන්නේ එම මියගිය කාන්තාවගේ භූත ආත්මයයි. 


ප්‍රදේශය අවට සැරිසරන අදසි ස්ත්‍රිය පිලිබඳ පුවත එම ප්‍රදේශයේම ජීවත් වූ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, කලාභූෂණ පරවාහැර සෝමතිලක මහතා සිය ඥනයෙන් විග්‍රහ කලේ මෙසේය.


"මිනිසුන් විශ්වාස කලත් නොකලත් මේ නොපෙනෙන බලවේගවල කිසියම් සත්‍යතාවයක් තිබෙනවා. බොහෝවිට මෙවැනි විශ්වාස නොමැති පුද්ගලයන්ටමයි අද්භූත බලවේග දෘශ්‍යමාන වන්නේත්. නොපෙනෙන බලවේග වැඩිවශයෙන් ක්‍රියාත්මක වන්නේ රාත්‍රී කාලයේදීයි. කාලයක් කැකණදුර රුක්ගහදෙණිය පාසල අසලත් මෙවැනි සිද්ධීන් වෙලා ශාන්තිකර්ම පවා සිදුකරන්න වුනා. 


කැකණදුර පල්ලියගුරුවත්ත වංගුව අසලත් මෙවැනිම අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම තුන්මං හන්දි, ඇළ දොළ, සොහොන්පිටි ආදී ස්ථාන අසල අවේලාවේ භූතාත්ම සැරිසරනවා. සාමාන්‍යයෙන් සුදුපාට ඇඳගෙන දෘශ්‍යමාන වන සමහර දේවල් භූතයන්ගේ ගොඩට වැටෙන්නේ නෑ. 

නිවසෙන් එලියට බසිද්දීම එහෙම දෘශ්‍යමාන වන එක් අදිසි බලවේගයක් සුනියම් දෙවියන්ගේ අවතාරයයි. නමුත් ඇලදොළ අසල සුදු ඇදගෙන සිටින්නේ සුනියම් යක්ෂයාගේ දිෂ්ටියක්. මහසොහොන් දිෂ්ටියක් දෘශ්‍යමාන වෙන්නේ කළු පැහැති බල්ලෙක්, නැතිනම් වලහෙක්ගේ ස්වරූපයෙනි. මිනිසුන් විග්‍රහ කරන ආකාරයට ඔය කියන ස්ථානයෙන් කිසියම් දිෂ්ටියක් සැරිසරන බව පැහැදිලියි." 

කැකණදුර තල්පාවිල බෙදුම් ඇළ බොහෝ අද්භූත සංසිද්ධීන් සගවාගෙනම දැනුත් නොනවත්වාම ගලා බසී. ඇළ අසල සැරිසරන සුදු ඇඳගත් අදිසි ස්ත්‍රිය හෙටත් කැකණදුර වැසියෙකු සමග දොඩමලුවන්නට පලුවන.


- වාසනා සුරංගිකා විතානගේ හා මාතර එම් සි දුශාන්තගේ ලිපියක් ඇසුරිනි.

-සම්බන්ධිත ලිපි-
මාතරින් කාන්තා හොල්මනක් මතුවෙයි

Related Posts Plugin for WordPress, Blogger...