බාලගිරි දෝෂයට යන රනිල් ගේ පාරට බැහිල්ල සහ විපක්ෂය
Wednesday, January 23, 2013
පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල ආණ්ඩුව සහ විපක්ෂය මුලික තැනක ගනී. මක් නිසාද යත් පවතින රජයක් නිසි මාර්ගයේ ගමන් නොකරනවානම් බලපෑම් තුලින් ජනතාවට වන අසාධාරණකම් වැලැක්වීම විපක්ෂයේ කාර්ය භාරයයි.විපක්ෂයක් යනු ඊළගට බලය ලබා ගන්නා දේශපාලන කණ්ඩායම වන අතර රටක පැවැත්ම උදෙසා වැදගත්ම සාධකයක් වේ.
ලොව ප්‍රකට කියමනක් ඇත එනම් "ලොව මෙතරම් විනාශකාරී වුත් දුෂ්ට වුත් ලෝකයක් බවට පත්ව ඇත්තේ නරක මිනිසුන් නිසා නොව හොද මිනිසුන් නිහඩව ආත්මාර්ථකාමිව නිහඩව සිටින නිසා බවයි" (ආණ්ඩුවේත් විපක්ෂයේත් හොද මිනිසුන් නැත)
මෙරට දේශපාලනය තුල විපක්ෂය විශ්වාස කරන්නේ නරියා මිදිවැල ඉබේ වැටේන තුරු සිටන උඩබලා සිටින ක්‍රමවේදයයි. තවත් විදියකි කිවහොත් රජයේ අඩුපාඩු පිළිබඳ උද්ඝෝෂණ තුලින් රජය වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට යන බිය පිළිබද චකිතයකින් කටයුතු කිරීමක් පෙනෙන්ට තිබේ.
රනිල් වීක්‍රමසිංහ මහතා 2011 නොවැම්බරයේ මහ පාරට බැස උද්ඝෝෂණ කරන බව වරක කිවේය. නැවත 2012 ජුලි මාසය කළු ජූලියක් කරන බවටත් පාරම් බැවේය. පසුව ජුලි 2012 නොවැම්බරයට කල් යන ලදී. දැන් නවතම දිනය 2013 ජුනි බවට පත්ව ඇත.
දිගින් දිගටම බාලගිරි වුනු රනිල්ගේ උද්ඝෝෂණ ව්‍යාපාර සත්‍ය වශයෙන්ම බාලගිරි වන්නේ කුමක් නිසාද?. සත්‍ය වශයෙන්ම සිදුවන්නේ එලෙඹෙන මැතිවරණයක් එනතුරු බලාසිටිම පමණි. මක්නිසාද යත් විපක්ෂ නායකකම යනු බොහෝ සැපපහසුකම් සපිරී වාර්ෂිකව අයවැයෙන් මුදල් වෙන් කෙරෙන තනතුරකි.
ලංකාව තුල විපක්ෂය සෝදාපාලුවට ලක්වන්නේ ප්‍රයෝගිකත්වය නොමැතිකම නිසා බව පැහැදිලිය ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙකම තවමත් ජීවත් වන්නේ 20 වන සියවසේ යල් පැනගිය න්‍යායයන් ක්‍රමවේදයන් දන්නා පිරිසක් සහ නායකයන් තුලය.
ජංගම දුරකථන එෆ්.එම් ගුවන් විදුලි රුපවාහිනී නාලිකා face book නොමැතිව පවා කටින් කට ගොස් විප්ලව සදහා තරුණයන් එක්රැස් කොට ගත් ජනතා විමුක්ති පෙරමුණට වර්තමානයේ කුමන සන්නිවේදන උපක්‍රම භාවිත කලද සාමාජිකයන් බදවා ගත නොහැකිව අසරණව ඇත.
ජනතා විමුක්ති පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් වටා එක්රොක්ව සිටි කලාකරුවන් සහ සිවිල්චරිත අද සිටින්නේ ලාබ ප්‍රයෝජන මත රජය සමගයි. බහුතරයක් විපක්ෂයේ සිට ජනපතිගේ දැත් ශක්තිමත් කිරමට කියා තමන් ශක්තිමත් වූ අයයි. තවද වත්මන් ජනතා විමුක්ති පෙරමුණ වයස්ගත රෝගයට ලක්වීම ද මෙහිදී පේනවා දිය හැක.
1989- 1994 දී තාරුණ්‍ය ආකර්ෂණය කරගත් තරුණයන් වූ ජනතා විමුක්ති පෙරමුණ 2013 වනවිට නාකි රැලක් බවට පත්වී ඇත. සාම්ප්‍රදායික සමාජවාදී පක්ෂයක් බවට පත්ව ඇති එම පක්ෂයේද නායකත්වය මරණයකින් මිස වෙනස් නොවන තැනට පත්ව ඇති බැවින් පක්ෂයේ මරණය දිනෙන් දින ඉක්මන් වී ඇත .
එක්සත් ජාතික පක්ෂය තුලද තරුණයාට ඉඩක් නැති බව පෙනෙන්නට තිබේ. තනතුරු සහ වරප්ප්‍රසාද 60 පනින ලද පිරිසක් සතුවීම සහ ක්‍රියාශීලි නොවන දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් කල්ගෙවන බයි පාස් කල දෙපිටකාට්ටු පිරිසක් මත පක්ෂය රදා පැවතීම තුල සියල්ල මන්දගාමී වී ඇත. වත්මන් ජනතාව පිඩනයට පත්ව ඇති මුලික ගැටලුව වන්නේ අධික ජීවන බර වන අතර එය අමතක කොට දමා රජය සපයන මාතෘකා ඔස්සේ යාම තුල විපක්ෂය ගොන් රැලක් බවට පත්ව ඇත.
සරලව කිවහොත් විපක්ෂ නායක වරයා වැඩිපුර අල්ජසීරා රූපවාහිනී නාලිකාව නැරඹීම තුල අරාබි වසන්තය ලංකාවට පැමිණ ජනී ජනයා විදි බැස නිදහස් චතුරශ්‍රය තුල සිට මීළග ආණ්ඩුව ලෙස එක්සත් ජාතික පක්ෂය පත්කරන තුරු සැප නින්දක සිටින බව පෙනේ. විපක්ෂ නායකවරයාට මතක් කල දිය යුතු කාරණයක් ඇත. ලංකාව තුල කැරලි සිදු කල නොහැක මක් නිසාද යත් ශ්‍රී ලංකික කම තුල අනෙකා පවා දෙන බැවින් අතීතයේ පවා 1971/1989 විප්ලව දෙකක් අසාර්ථක විය.
එබැවින් උදැසන අවදිව මෛත්‍රී නොනාට කියා දියපොදක් මුහුණේ ගාගෙන අවදිවනේනම් මැනවි. නැතිනම් මීලගට එළබෙන 19 වන සංශෝදනය පසුපස මාස කිහිපයක් ගොස් ඉන් අනතුරුව රජයෙන් නැවත මාතෘකාවක් සපයන තුරු අල්ජසීරා බලන්නේනම් මැනවි. සත්‍ය වශයෙන්ම බලන කල ජේ ආර් ජයවර්දන විධායක බලතල අනිසි භාවිතය තුල මහින්ද රාජපක්ෂ ඉදිරියේ ළදරුවෙකි. නමුත් ජනපතිතුමා විපක්ෂයට වඩා ප්‍රයෝගික පුද්ගලයෙකි මක් නිසාද යත් සැමවිටම විපක්ෂය අතරමන් කිරීමට සමත් වී ඇති බැවිනි.
වඩා වැදගත් වන්නේ න්‍යායන් නොව ප්‍රයෝගික ක්‍රියාකාරකම්ය බොහෝවිට 30 වසරක යුද ජයට බලපෑවේ ප්‍රයෝගිකත්වය මිස සම්ප්‍රදායිකත්ව විය නොහැක . තවද එකසත් ජාතික පක්ෂය අමතක කර ගත් දේවල් බොහොමයක් ඇත පක්ෂයකට නායකයා මෙන්ම ක්‍රියාශීලි ලේකම්වරයෙක් අත්‍යවශ්‍යය. එවකට සිටි ගාමිණී අතුකෝරල ගේ අඩුව මැකීමට තවමත් කිසිවෙකුට නොහැකිවීමද එක්සත් ජාතික පක්ෂයේ පසු බැස්මට හේතුවී ඇත.
2013 වසරේදීවත් අපරටේ විපක්ෂයට මොලය පහල වේවා කියා පතනවා හැර සකල ජනයාට කල හැකි දෙයක් නොමැති අතර පක්ෂ විපක්ෂ දෙපිරිසේම හොද මිනිසුන් තව දුරටත් නිහඩ නොවී ක්‍රියාශීලි වන්නේනම් අප රට මිට වඩා ලස්සන වන බවනම් පැහැදිලිය.
