කටුගේ මහමොලකරු ඇල්ලුවත් කඩුවට වෙච්ච දෙයක් නැත !
Wednesday, October 31, 2012
ලංකා ඉතිහාසයේ මාස ගණනක් යනතෙක් හසු නොවන සේ සොරකමක් කල "කන්ගැට්ටා" අවසානයේ ස්ත්‍රියකගේ "පැණි උගුලකට" හසුව පොලිසියේ අත්අඩංගුවට පත්විණි. කන්ගැට්ටා මේ දිනවල මාධ්‍යයට නැතුවම බැරි පුද්ගලයෙකි. ඒ ඔහුගේ වීර ක්‍රියාව රස කරමින් මාධ්‍යය වාර්තා කරන හෙයිනි.
එහෙත් ඔහුගේ වීර ක්‍රියාව අතිශය සැහැල්ලු බවකින් සිදුකල එකක් බව ඔහු දුන් කට උත්තර වලින් පැහැදිලිවේ . කන්ගැට්ටා දුන් සාක්ෂි වලට අනුව ඔහු සතුව අරුම පුදුම මල්ලක් ඇත. එය ඔහු යන සෑම තැනකම රැගෙන යයි. එදින ඔහු කටුගෙට ඇතුල්වන්නේද පෙර සුදානමින් තොරව මත් ද්‍රව්‍ය ලබා ගැනීමේ අවශ්‍යතාවය මත ඇවිද ඇවිද සිටින වෙලාවක සිතට ආ සිතිවිල්ලකට අනුවය.
ප්‍රවේශපතක් ගැනීමෙන් අනතුරුව කටුගෙට ඇතුල්වන කන්ගැට්ටා කෞතුක භාණ්ඩ පෙට්ටියක් හැර බැලීමෙන් පසුව තමා වෙතට කිසිදු නිලධාරියෙක් නොපැමිණීමෙන් ආරක්‍ෂිත කැමරා ක්‍රියාත්මක නොවන බව දැනගනීමට තරම් දක්ෂයෙකු වී ඇත.

කෙසේනමුත් කඩු පහක් ඇතුළු භාණ්ඩ වර්ග 12 ක් තමාගේ අරුම පුදුම මල්ලට දමාගත් කන්ගැට්ටා මල්ලේ තිබු බෙඩ් ෂිටය ජනේලයේ ගැට ගසා බිමට බැසීමෙන් අනතුරුව තමාව දැක්කේ නැත්තේ මුරකරුවන් නිදි නිසා බවද දක්ෂ ලෙස උපකල්පනය කර ඇත.
බඩු මල්ලත් කරේ තියාගත් කන්ගැට්ටා ගෙදර ගොස් ඇත්තේ අසල කඩයකින් තොසේ කෑමෙන්ද අනතුරුවය.
කෞතුකාගාරයේ ඉදිකිරීමේ කාර්යයකට හවුල් වීමට ගිය අවස්ථාවේ එහි තිබූ පැරණි භාණ්ඩ සොරකම් කර කෝටිපතියකු වීමට සිතූ කන් ගැට්ටා ඒ අසළ නිවසක මේසන් වැඩවලටද සම්බන්ධ වී ඇත.
සිද්ධිය වූ දිනයට පෙර දිනයේ නියනක් මිලට ගෙන එය සඟවාගෙන කෞතුකාගාරයට ඇතුළු වූ පසු කළ දෑ ඔහුගේ කටින්ම පැවසුවොත් මෙසේය
"එදා මම කෞතුකාගාරයට ගියා ටිකට් එකක් අරගෙන. හැම තැනම ඇවිදින කොට තමයි බඩුවක් සොරකම් කරන්න හිතුණේ. ඒකේ ආරක්ෂාව අන්තිමයි.
මම දැක්කා ආරක්ෂිත කැමරා තියනවා. මම ඒ වෙලාව් එතැන කෞතුක භාණ්ඩ පෙට්ටියක් අරිමිනුයි සිටියේ. කෞතුක භාණ්ඩ බලනවා වගෙයි ඒ පෙට්ටිය ඇරියේ.
මම ගොඩක් වෙලා එතැන සිටියා. කවුරුත්ම ආරක්ෂකයෙක් මම පෙට්ටිය අරිනවා බලන්න ආවේ නෑ. ඒ නිසා මම හිතුවා කැමරා වැඩ කරන්නේ නෑ කියලා.

ඉන්පසුව මම ජනේලයක් ඇරගෙන බෑගයේ තිබුණු බෙඩ් සීට් එක ජනේලේ ගැටගහලා උඩ තට්ටුවෙන් බිමට බැහැලා ගියා"
රටක් කැළඹීමකට පත්කළ, පොලීසිය නන්නත්තාර කළ එම සොරකම කළ අයුරු කංගැට්ටා පවසන්නේ සුළුදිය පහකිරීමටත් වඩා සැහැල්ලුවෙනි.
මෙම සොරකමෙන් අනතුරුව කංගැට්ටාගේ ජායාරූපය ප්‍රසිද්ධ කර තිබියදීත් ඔහු සැඟවී සිටීමට තරම් බිය වූයේ නැත.
හාල් මෝල් වල මෙන්ම පොලීසියද තෙල් ගසාගන යන පෙට්‍රල් ෂෙඩ් වලද වැඩ කර ඇත. ඒ ඔහුගේ නිර්භීත කම නිසාය. ඒ අතින් බලද්දී ඔහු මාරම පොරකි.
අධි ආරක්ෂිත කලාපයේ පවතින කෞතුකාගාරයට තනිවම පැන කෞතුක භාණ්ඩ 221ක් රැගෙන පලාගිය කංගැට්ටා ට පෙන්ටගනයට පැනීම වුවද සිම්පල් බව කෙනෙකුට සිතිය හැකිය.
කන්ගැට්ටා සියල්ල වැමාරුවත්, මාධ්‍යයට කටුගේ හොරකම අවසන් සේ පෙන්නුවත් කටුගේ හොරකමෙහි නැතිවූ වටිනාම වස්තුව වන සිංහල රජ කෙනෙක් භාවිතා කල කඩුව මෙතෙක් හමුවී නැති බව වාර්තා වේ.
ඒ පිලිබඳ දිගින් දිගටම කන්ගට්ටාගෙන් ප්‍රශ්න කලද එම කඩුව පිලිබඳ කන්ගැට්ටා කිසිවක් හෙළිකොට නොමැත. වටිනාම කඩුව තවම හමුවී නොමැත. එම රජු කවුදැයි යන්න කෞතුකාගාරයෙන් මාධ්‍යයට හෙළි කර නැත.
පොලීසියෙන් මේ පිළිබඳව විමසීම් කල විට ඔවුන් කියන්නේ රහස් පොලිසිය තවමත් මේ පිළිබඳව සොයමින් සිටින බවයි.
මෙම නඩුවට අදාල කෞතුක භාණ්ඩ ලේඛනයක් තවම අධිකරණය වෙත ද ඉදිරිපත්වී නැත. ත්‍රස්තවාදී පනත ඇතුළු විවිධ පනත් යටතේ නඩු පැවරීමට සූදානම් වන බව පැවසේ.
මෙයට පෙර ස්‌ටැන්ලි ලියනගේ නම් වූ පෞද්ගලික ආරක්‍ෂක අංශ සාමාජිකයෙක් හිටි හැටියේම අතුරුදන් වූ අතර ඔහු රැකියාව කරනු ලැබුවේ කොළඹ කටුගෙට නුදුරු කලාභවනේ ආරක්‍ෂක ස්‌ථාන භාර නිලධාරියා ලෙසිනි.
පැහැරගෙන ගිය අංශ විසින් ඔහුට බල කර තිබුනේ "කටුගේ කඩුව උඹ ගත්තා කියපන්. එතකොට මේ කරදර ඔක්‌කොම ඉවරයි. අපි උඹේ පරම්පරා හතක් බලාගන්නම්" යනුවෙනි.
කන්ගැට්ටෙක්ගේ ප‍්‍රලාප නොකියා ඇත්ත හොර අල්ලන්න – සෝභිත හිමි

"කෞතුකාගාර කොල්ලයට සම්බන්ධව කන්ගැට්‌ටා නමැත්තා සැකකරුවෙක් ලෙස පොලිස් අත්අඩංගුවට පත්වීම පිළිබඳ අප සංතෝෂ වෙනවා. නමුත් වැදගත් වන්නේ නිවැරදි පරීක්ෂණ මගින් සාධක සහිතව මේ අපරාධකරුවා පිළිබඳ තහවුරු කිරීමයි.
මේ අපරාධය සිදුවූ මොහොතේ සිට දිගින් දිගටම අප දුටුවේ පොලිසියෙ මන්දොඅත්සාහි බවයි. අප කම්පාවට පත්වුණේ මවිතයට පත්වුණේ මෙබඳු මහා ජාතික ව්‍යසනයකදී පොලිසිය හැසිරුණ ස්‌වරූපය නිසයි. තවමත් ඒ හැසිරීම ප්‍රශ්න කාරීයි.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුගේ "වන් මෑන් ෂෝ" අපරාධය ගැන පොලිසිය මේ කියන කතාව පොඩි දරුවෙක්‌වත් විශ්වාස කරන්නෙ නෑ. හොරකම වන දවසෙ ආරක්‌ෂක කැමරා ක්‍රියා විරහිතවීම තිබූ බව කෞතුකාගාර අධ්‍යක්‌ෂවරියවත් දැනගෙන හිටියෙ නෑ.
සැකකරු මේ කැමරා අක්‍රිය කළාද? ඔහු වෙනුවෙන් කවුරුන් හෝ ඒ කැමරා ක්‍රියා විරහිත කළාද? මුරකරුවන් අතරින් ඔහු බේරි ගියාද? මුරකරුවන් ඔහුට යන්න දුන්නද? "ඇත්තටම මෙය වන් මෑන් ෂෝ එකක්‌ද" කියන ප්‍රශ්න තවමත් රට හමුවේ තියනවා. ඔහු කියපු විදිහට කෞතුකාගාර හොරකම උනානම් ඒක මේ රටේ ආරක්‌ෂක සේවාවට වූ බරපතළ නින්දාවක්.......
අපට අපරාධයක් වුණාම අප යන්නෙ පොලිසියට. රටට අපරාධයක් වුණාම යන්නෙත් පොලිසියට. පුරවැසියො විදිහට අපට පිහිට ඉල්ලන්න තියන තැනේ විශ්වාසය පළුදු වෙනවා නම් එබඳු රටකට යන කළ ඉතාම ඛේදනීයයි.
රට එහෙම තැනකට පත් නොකර මේ අපරාධයට සම්බන්ධ යෑයි පෙනෙන මුරකරුවන්, කෞතුකාගාර සේවකයින් තවත් පෙනෙන නොපෙනෙන බලවේගයන් ගැන අලගිය මුලගිය තැන් නිවැරදිව හොයලා රටේ උරුමය වැනසූ මේ ජාතික අපරාධයේ ඇත්ත මේ රටට හෙළි කරන්න කියන ඉල්ලීම නැවත අප පොලිසියෙන් ඉල්ලා සිටිනවා."
-සම්බන්ධිත පුවත්-
කෞතුකාගාරයේ හොරුන්ට මොකද වුනේ?
කෞතුකාගාර හොරකම කොටින්ගේ ගිණුමට!
මේ අල්ලන්නේ කෞතුකාගාරයේ සැබෑ හොරුන්මද?
කෞතුකාගාරයේ කඩු හොරකම කළේ කුරුඳුවත්ත පොලීසියමද?
අධි ආරක්ෂිත කලාපයක තිබී රැකගැන්මට බැරිවූ කෞතුකාගාරය
කෞතුකාගාරයට පැනපු හොරු සති දෙකෙන් අල්ලනවා
කටුගේ හොරා කොටුවේ!
