ඔබත් ස්ත්‍රී දුෂක වංශයේද ?

ලෝකයේ ස්ත්‍රී දුෂණ වැඩිපුර සිදුවන කලාප ලෙස දකුණු ඇමෙරිකානු, අප්‍රිකානු සහ දකුණු ආසියාතික කලාප මූලික තැනක් ගනී.

අප්‍රිකානු කලාප නුගත්කම සහ නොදියුණු කම මතත්, දකුණු ඇමෙරිකානු කලාපය මත්ද්‍රව්‍ය සහ ගණිකා ව්‍යාපාර වැනි හේතු මුලික වුවත් ලංකාව තුල ස්ත්‍රී දුෂණ වැඩිවීමේ ප්‍රවනතාව සිදුව ඇත්තේ රට තුල තිබෙන රාජ්‍ය අනුග්‍රහ සහිත චින්තනය හේතුකොටගෙන බවනම් පැහැදිලිය.

ශ්‍රී ලංකාව බටහිර යටත් විජිත යුගයට එසේත් නැතිනම් වික්ටෝරියානු සදාචාරයට පෙර යුගයේ ස්ත්‍රීයකට ආභරණ සහිතව දෙවුන්දරතුඩුවේ සිට පේදුරු තුඩුවට තනිවම යා හැකිව තිබු බව නිතරම පාරම් බාන කතාවකි.


එසේනම් එවැනි විනයානුකුල ජීවිතයක් ගත කල පුරුෂයින්ට සිදුවුයේ කුමක්ද ? මෙය බටහිර NGO කුමන්ත්‍රණයක්ද? දෙමල ඩයස්පෝරාව ලංකාව විනාශ කිරීමට සිදුකල කුමන්ත්‍රණයක්ද? ජීහාඩ් අන්තවාදය ක්‍රියාත්මක වීමක්ද? පිටසක්වල රතු වැස්සේ ප්‍රතිපලයක්ද ?නිමල් සිරිපාල සිල්වා කියන පරිදි තරුණියන් කොටට අදින බැවීන් සිදුවන විපාකයන්ද?

මෙය කියවන ඔබත් තවත් ශ්‍රී ලංකික පුරුෂයෙක් විය හැක එබැවීන් අප ප්‍රථමයෙන් ඔබ ගැන ඇතුලාන්තයට ගොස් ප්‍රශ්න කොට බලමු.

ඔබ තම පෙම්වතියට අවංකද? පෙම්වතිය සිටියදී වෙනත් පෙම්වතියන් සිටීද? ඔබ විවාහකනම් බිරිද හැර වෙනත් කාන්තාවන් සමග ලිංගිකව ඇසුරු කරන්නේද? රාත්‍රී නිශාචර ගමන් තුල ස්ත්‍රීන් සොයයිද? අබිසරු ලියන් ඇසුරු කරන්නේද? කාර්යාලයේ ඔබසමග රැකියා කරන හිතවතිය දෙස වැරදි ලෙස බලයිද?

බටහිර ලෙස කොටට අදින පළදින ලදුන් දෙස බලන්නේ බඩු ලෙසද? තරුණියකට පෙම් ඇසුරකට ආරාධනා කොට ඇය ප්‍රතික්ෂේප කලවිට කියන්නේ ඒකි බඩුවක් කියාද? ඔබ ඇසුරු කොට නවත්වා දමන ඇසුරක පෙම්වතිය ගැන ඔබ කියන්නේ මොනවාද? මදක් කල්පනා කලවීට ඔබටම ඔබතුල සිටින අශිෂ්ට පුරුෂයා සොයාගත හැකිවනු ඇත.

අපරටේ පුරුෂයින් ලොව ප්‍රථම අගමැති ප්‍රථම අගවිනිසුරුවරිය ලංකාවෙන් බිහිකළහ. නමුත් තවමත් ස්ත්‍රීය පිළිබද චින්තනය බොහෝ ප්‍රාතමිකය. මවුකුසින් බිහිවන පුරුෂයින් සහෝදරියන් දියණියන් සිටින පුරුෂයින් අනෙක් ස්ත්‍රීන් දෙස තම සහෝදරිය මව දියණිය ලෙස අනෙකා දෙස බලන්නේ නැත්තේ ඇයිද යන්න ගැටළුවක් වුවද ලංකාවේ පියවරුන් දියණියන් දුෂණය කරන බැවීන් විටෙක එය පුදුමයක්ද නොවන්නේය.

වැඩිවන ස්ත්‍රී දුෂණ පිළිබද රජයේ ස්ථාවරය නම් මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත් මාධ්‍ය දැන් මෙය උලුප්පා දක්වන බවත්ය. කාන්තා සහ ළමා කාර්යාංශයේ මතය වන්නේ ක්ෂණික ඇමතුම් අංකය හදුන්වා දීම නිසා වැඩිවී ඇති බවය.

2011 වසර තුල ළමා අපචාර 1,169 සිදුවූ අතර දිනකට අවම වශයෙන් දරුවන් තිදෙනෙක් අපචාරයට ලක්වේ. ස්ත්‍රී දුෂණ වාර්තා වන ප්‍රමාණයට වඩා දෙගුණයක් සිදුවන අතර දුෂණයෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියේ නැවත දුෂණය වීමට ඇති බිය නිසා නිහඩව සිටීම මිට හේතු වී ඇත. අප දන්නා පරිදි ලංකාවේ දිනපතා පුවත් පත් නිතර රසකොට ලියන ස්ත්‍රී දුෂණ වාර්තා වෙබ් පුවත් වාර්තා මිට මුලීක හේතු වී ඇත.

ස්ත්‍රී දුෂණයට අදාල පුවත් කියවීමටද පුරුෂයින් වැඩි කැමැත්තක් දක්වන බව මාධ්‍ය තුල සිටින බොහෝදෙනා දන්නා කරුණකි . වැදගත් පුවතකට වඩා නිළියන්ගේ පුද්ගලික තොරතුරු සහ ස්ත්‍රී දුෂණ වාර්තා කියවන ශ්‍රී ලංකාවේ පිරිමින් තුල සැබෑවටම අභ්‍යන්තරයේ ස්ත්‍රී දුෂකයකු ජීවත්වන බව නොරහසකි.

සියලු කරුණු කරනා ඉදිරියේ ස්ත්‍රී දුෂණ වැලක්වීමට රාජ්‍ය නායකයා හෝ රජය ගන්නා උත්සහයක් නොමැති බවත් පෙනීයන කරුණකි. රටේ ස්ත්‍රීන් ජනගහනයෙන් 52% වුවත් ඔවුන් සදහා වන ඇමතිකම බාරදෙනු ලබන්නේ දුර්වලම පුද්ගලයාටය. මළගෙවල් වලත් මගුල් ගෙවල් වල යාමත් හැරුනුකොට වැඩක් නොකරන අපේ රටේ නායකයින් සිටින තුරු ස්ත්‍රීන්ට සහ දරුවන්ට දෙවියන්ගේම පිහිටය.

නිතිය වල්වැදීම හමුවේ ඉල්ලම පහලව ඇත්තේ ස්ත්‍රී දුෂකයන්ටය. නීතියට ඇති බිය පහව ගොස් ඇත. රටට පැමිණෙන විදේශික කාන්තාවන් දේශපාලකයින් අතින්ම දුෂණය වේ. අත දරුවන් ප්‍රාදෙශිය සභා සභාපති අතින් දුෂණය වේ.

නමුත් සියල්ලන් නිහඩය මීගමුවේදී වේදිකා නාට්‍ය නිලියක් සමුහ දුෂණයට ලක් විය නුගේගොඩදී 45 වියැතී කාන්තාවක් සමුහ දුෂණයට ලක්විය. ඉන්දියාවේ ස්ත්‍රී දුෂණය පිළිබද ගෙනගිය උද්ඝෝෂණ අගමැති මන්මෝහන් සින් මහතා වෙතම ගියහ.

නමුත් ලංකාවේ සියල්ලන් නිහඩය. චාරිත්‍රානුකුල විපක්ෂයේ වීරෝදතා අඩ පැයෙන් අවසන් වූ පසු සියල්ලන් නිහඩය. මොහොතක් සිතන්න මීගමුවේදී ඔබේ සහෝදරිය පස්දෙනෙකු අතින් දුෂණය වූවානම්, නුගේගොඩදී ඔබේ මව දුෂණය වූවානම්, ඔබට අත්වන ඉරණම !!!.

එසේනම් පළමුව ඔබ කළයුතුව ඇත්තේ ඔබ වෙනස් වීමයි. ලිංගික අධ්‍යාපනයක් නොමැති අපේ රටේ ලිංගික තොරතුරු ලබා ගන්නා මැජික් යන්ත්‍රය බවට අන්තර්ජාලය පත්ව ඇත. පුස්තකය පෙරලා සොයා ඇත්තේ වැඩිපුරම ලිංගික චිත්‍රපටි පමණි.

2012 වසරේ Google සෙවුම් තුල SEX යන්න වැඩිපුරම සොයා ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. එයද සුවීශේෂයි තවත් සුවීශේෂත්වයක් ඇත ස්ත්‍රී දුෂකයින් 90% ම නුගත් පුද්ගලයන්ය ත්‍රීරෝද රථ රියදුරන් බස් රියදුරන් හෝ හමුදාවේ සේවය කල අය වැඩිදෙනා වන අතර බහුතරය සිංහල වීමද සුවීශේෂයි.

පශ්චාත් යුද මානසිකත්ව තුල රැකියා විරහිත හමුදා සෙබළු සියලු දෙයට වරදකරුවන් කොට ගැලවීමට රජයට නොහැක. ගණිකා නිවාස වසා දමා මෙය සිදුකල නොහැක. ගණිකාවන් ලොව ආරම්භයේ සිට ජීවත් විය බුදුන් විසුකල සිටි අම්බපාලියද එවැනි ස්ත්‍රීයකි. බුදුන් කල පවා ගණිකාවන්ගේ පැවැත්ම පිළිගත් නමුත් වත්මන් දෙව්දත් දහම අදහන රජය එහි වැදගත්කම තේරුම් ගෙන නැත.

එම නිසාම ගණිකා නිවාස වසා දමමින් පවුල් කුටුම්බිය තුලම දුෂකයින් බිහිකොට ඇත. රජයේ බල පුලුවන් කරුවන් ප්‍රභූ පන්නයේ ගණිකා නිවාස පවත්වාගෙන යමින් වීනොද වන අතරම සාමාන්‍ය ජනයාට එය තහනම් කොට ඇත. මෙය සමාන කලහැක්කේ බදු සහන ලබමින් අධි සුඛෝපභෝගී වාහන භාවිතා කරමින් සාමාන්‍ය ජනතාවට අවම වශයෙන් මිලදී ගත හැකිව තිබු මරුති කාර් වලට බදුගහනවා වැනි ක්‍රියාවකි .

පසුගිය දිනක කෙහෙළිය ඇමතිවරයා පවසා තිබුනේ රටේ පාලකයා දැහැමි බැවීන් දැන් "බායි" කියන්නේ නැති බවත් සියල්ලෝ "බුදුසරණයි" කියන බවත්ය. අපටත් කිව හැක්කේ රටේ ළමා ලපටි සහ කාන්තාවන්ට බුදුසරණ හැර වෙන සරණක් නැති බවය.

Related Posts Plugin for WordPress, Blogger...