සුපර්මාර්කට් ටැක්ස් එක නිසා භාණ්ඩ මිල ඉහල යෑමක් ඉදිරියේදී

සුපිරි වෙලඳසැල් ඇතුලු තොග හා සිල්ලර වෙලඳසැල් සඳහා මෙතෙක් පැනවී තිබුනේ ජාතිය ගොඩ නැඟීමේ බද්ද පමණකි.

නමුත් 2013 වසර සඳහා ඉදිරිපත් කල අය-වැය මඟින් තොග හා සිල්ලර වෙලඳාම් වලට "අගය මත එකතු කළ බද්ද" හෙවත් "වැට් බද්ද" ද එකතුකර තිබෙනවා.

ඒ කාර්තුවකට මිලියන 500කට වඩා ආදායමක් (ලාභයක් නොව ආදායමක්) ලබන වෙලඳ සැල් සඳහාය.

මේ අනුව කාර්තුවට මිලියන 500 කට වැඩි ආදායම් ලබන වෙලදසල් සඳහා පනවනු ලද බද්දක් නිසා මෙම බද්දට හසු වීමේ ප්‍රධාන ඉලක්ක වන්නේ සුපිරි වෙලඳසල් බව පැහැදිලිය.


මෙය 2013 අය වැයේ අන්තර්ගත විශාලම බද්දක් වන අතර මෙයින් බිලියන 5ක පමණ ආදායමක් රජය විසින් බලාපොරොත්තු වෙයි.

වැට් බද්ද අය කල හැකි සුපර් මාර්කට් එකක තිබෙන සෑම භාණ්ඩයකටම මෙම බද්ද අදාලය. නමුත් භාණ්ඩයේ ලකුණු කල උපරිම සිල්ලර මිලට වැඩියෙන් බදු පනවා විකිණිය නොහැකියි.

උදාහරණයක් ලෙස ගමේ කඩේ මුදලාලිට උපරිම සිල්ලර මිළ රු. 35 ක් වන සබන් කැටයක් ලැබෙනුයේ රුපියල් 20 කට වන අතර එය සුපර්මාර්කට් වලට ලැබෙනුයේද එම මිළටමය. සිල්ලර කඩේ මුදලාලිට වැට් නැති නිසා ඔහු එය ලාභයක් තියාගෙන එය රු. 35 ට විකුණයි. නමුත් සුපර්මාර්කට් වෙළෙන්දාට රු. 20 ට ලැබෙන සබන් කැටයෙන් 12% අමතර බද්දක් ගෙවිමෙන් පසුව පවා විකිණිය යුත්තේ රු.35 ටය. එවිට පැහැදිලිවම ඔවුන්ගේ ආදායම අඩු වීමක් සිදු වේ.

ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් මේ මෙම සුපර්මාර්කට් බද්ද ගැන පැවසු කතාවෙන් පැහැදිලි වන්නේ සුපර්මාර්කට් වලට යන්නේ සල්ලි තියෙන අය නිසා මෙම අමතර බදු මුදල ගෙවන්න වෙන්නේ සල්ලි වියදම් කල හැකි පුද්ගලයන්ටය. එබැවින් මෙම බද්ද නිසා ආදායම් බෙදී යාමේ විෂමතාවයය අඩු වෙනවා යන්නයි.

නමුත් සුපර්මාර්කට් වෙලඳසැල් හිමියන් පවසන්නේ දිනපතා වන ගනුදෙනු වලින් 75% ක පමණ බිල් රු 1,000 ට අඩු බවත් රුපියල් 10,000 ට වැඩි බිල් වැටෙන්නේ 3%ක් පමණ වන බවත් ය.

මේ පිළිබඳව සාකච්චා කිරීම සඳහා අවස්ථාවක්‌ ලබා දෙන ලෙස ඔවුන් රජයේ වගකිවයුතු පුද්ගලයන්ගෙන් ඉල්ලීමක් කළ අතර එහිදී සියළුම සුපිරි වෙළඳසල් හිමිකරුවන් සියල්ල ඒකපාර්ශවික වී මේ 12% බද්ද නිෂ්පාදකයන් විසින් දැරිය යුතු බවයි පැවසුවේ.

නමුත් නිෂ්පාදකයන්ට සුපර්මාර්කට් සදහා එක මිලකටත්, සිල්ලර වෙළදසැල් වලට තව මිලකටත් භාණ්ඩ සැපයිය නොහැකියි. මෙහි ප්‍රථිපලයක් ලෙස සිදු වන්නේ සුළු පිරිසක් වන සුපිරි වෙළදසැල් හිමියන්ගේ උවමනාවට නිෂ්පාදකයන් 12% ක බද්ද ඔවුන් විසින් පියවා ගැනීම නිසා භාණ්ඩයේ මිල දෙපාරශ්වයටම (සුපර්මාර්කට් හා සිල්ලර) බලපාන ලෙස ඉහල දැමීමට සිදු වීමයි.

මෙලෙස වැඩිවන 12% බදු මුදල නිෂ්පාදකයින් විසින් දරන්නේ නම් බදු මුදල් දැරීමට සිදුවන්නේ අවසන් පාරිභෝඑගිකයාට බැවින් අවසානයට සිදු වන්නේ සියලුම පාරිභෝගික භාණ්ඩ වල මිළ 12%කින් වැඩි විමක් සිදු විමයි.

ඒ අනුව බිලියන 5ක පමණ ආදායමක් ලබාගැනීම උදෙසා රජය විසින් පනවන ලද බදු මුදල අවසානයේ කැරකී වැටෙන්නේ ජනතාවගේ පිට උඩටමය.

Related Posts Plugin for WordPress, Blogger...