මොරටුව විශ්ව විද්‍යාලය යලි කැලඹේ..!

ඊයේ (16) රාත්‍රී 10.00 පමණ සිට අළුයම දක්වා මොරටුව විශ්ව විද්‍යාලය තුල නැවතත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවී තිබේ. මෙය ආරම්භ වී තිබෙන්නේ මීට පෙර දිනයක ඇතිවූ ගැටුමක පසු ගැටුමක් ලෙසිනි .

ඉන්ජිනේරු පීඨ සිසුන් හා ජාතික තාක්ෂණ ආයතන(NDT) සිසුහු අතර පෙර දිනයක ඇතිවූ ගැටුම් හේතුවෙන් පසුගිය දින වල ඉන්ජිනේරු අවසන් වසර සිසුන් හැර දෙපාර්ශවයේම අනෙකුත් සියලුම සිසුන් සඳහා සරසවි බිම තාවකාලික තහනම් කලාපයක් බවට පත් කොට තිබිණි.

අවසන් වසර ඉන්ජිනේරු සිසුන් සඳහා අවසන් වසර විභාග පැවැත්වීම පසුගිය සතියේ සිට ආරම්භ වූ බැවින් ඔවුන්ට අධ්‍යයන කටයුතු සඳහා සරසවිය විවෲත වී තිබිණ. කෙසේ වුවද අද රාත්‍රී යාමයේ කළහකාරී, හිස් ආවරණය කරන ලද පිරිසක් විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඇතුළුවීමේ දොරටුව වෙත පැමිණ එහි පාලනය ඔවුන් සතු කොට ගෙන ඇත. 


තවත් සියයකට අධික පිරිසක් විසින් විශ්ව විද්‍යාලයට යාබදව ඇති පෙර පාසලක් ඔස්සේ පැමිණ ඉන්ජිනේරු නේවාසිකාගාර වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කොට ඇත. කෙසේ වුවද පෙර ඇතිවූ ගැටුම් සමථයකට පත් කිරීමට දෙපිරිසම එකඟ වී සිටි පරිසරයක් තුල (පෙර ගැටුම් වලදී අලාබ හානි සිදුවූ යතුරුපැදියක සම්පූර්ණ මිල ගෙවීම සඳහා ඉන්ජිනේරු සිසුහු කැමැත්ත පළ කර සිටි බවත අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.)

විශ්ව විද්‍යාලය ඉදිරි සති කිහිපය තුල සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු කරගෙන යාමට තීරණය වී තිබුණි. නමුත් උද්ගත වී ඇති තත්වය මත නැවත යථා තත්වට පැමිණීමට කොපමණ කල් ගතවේ දැයි නිශ්චිතව කිව නොහැකි බැව් සිසුහු කියති.

ගැටුම ආරම්භ වන විට ඉංජිනේරු පීඨ සිව් වන වසර සිසුන් විශ්ව විද්‍යාල නේවාසිකාගාර තුල තම අධ්‍යයන කටයුතු වල යෙදෙමින් සිට ඇති අතර මෙම දින වල ඔවුන්ට විභාග පරිච්ඡේදයක් බව විශ්ව විද්‍යාල සිසුහු පවසති. රාත්‍රී දහයට පමණ පැමිණ ඇති කලහකාරී පිරිසක් විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල ඇති පිරිමි නේවාසිකාගාරයට කඩා වැදී එහි සිසුන්ට අමානුෂික ලෙස පහර දී ඇති බවත්, තවද කාන්තා නේවාසිකාගාරයේ දොර-ජනෙල් වලට අලාභ හානි සිදු කරමින් ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බවත් පැවසෙයි. 


එසේම මේ වන විට ශිෂ්‍යාවන් බලවත් කම්පනයට පත් ව තම කාමර තුලට වී අගුලු දමා සිට ඇත. නේවාසිකාගාර තුලට පෙට්‍රල් -බෝම්බ වලින් පහර දී ඇත. කලහකාරී පිරිස අතර අධික ලෙස මත්පැන් පානය කොට සිටි කිහිප දෙනෙකු සිටි බවටත්, කිහිප දෙනෙකු අත කඩු හා පොලු තිබූ බවටත් සරසවි ආරක්ශක අංශය තහවුරු කර ඇත.

අවට ඇති නේවාසිකාගාර වල ලැගුම් ගෙන සිටි සිසුන් ද, නේවාසිකාගාර වල සිටි අය ද නිවෙස් වල සිටි සිසුන් ද මේ පුවත පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දුන්හ. එවිට ඔවුන්ට දැනුම් දී ඇත්තේ මොරටුව පොලිස් ස්ථානයෙන් කණ්ඩායමක් ගැටුම ඇති තැනට යවා ඇති බවය. 


තවද මෙසේ ඇමතූ සිසුන්ට ඇතැම් විටක පොලිසියෙන් පවසා ඇත්තේ, විශ්ව විද්‍යාල උපකුලපති තුමන්ගේ අවසරය නොමැතිව විශ්ව විද්‍යාල භූමියට ඇතුලත් විය නොහැකි බවත් ය. කෙසේ වුවත් පොලිස් කණ්ඩායම් වලටද මුලදී විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වීමට නොදී, ගල්-මුල්, බෝතල් ප්‍රහාර එල්ල කිරීමට එම කළහකාරී සිසුන් මැලි වී නැති සෙයක් පෙනෙයි.

එසේම ම ගැටලුව යම් කිසි නිවුණු මට්ටමකට ගෙන ඒමට තරමක් කල් ගත වූ බව ශිෂයෝ පවසති. පොලිසිය සහ අසල්වැසියන් සරසවි මායිමෙන් පිටත සිටිද්දී ඇතුලත එක්වූ කලහකාරී සිසු පිරිසක් විසින් තවත් සිසුහු දෙදෙනෙකු පුටුවල වාඩි කර පහර දීමක් සිදුවී තිබේ. එහි වීඩියෝ දර්ශන පටිගත වී ඇති අතර ළඟදීම මාධ්‍යට මුදාහරෙනු ඇත.

පිරිමි නේවාසිකාගාර තුල සිටි සිසුහු බොහොමයක් දැඩි ලෙස තුවාල ලබා ඇති අතර තුවාල කරුවන් පිටතට ගෙන ඒමටවත් ඉඩ නොදී පැය කිහිපයක කාලයක් තිස්සේ විශ්ව විද්‍යාලය තුලම මෙම කලහකාරී සිසු පිරිස් විසින් රඳවා තබාගෙන ඇත. 


මේ අතර පැය ගණනාවක් තිස්සේ ප්‍රදේශය පුරාවටම මහා ඝෝෂාවක් පැවැති අතර අසල්වසියන්ටද අලාභහානි සිදු කර ඇති බව සැල වෙයි. කෙසේ වෙතත් මෙය දෙපිරිසක ගැටුමකට වඩා කිසිදු සූදානමක් නොමැති පිරිසකට කළ පහරදීමක් බවට නම් සාධක පවතී.

අවසානයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණීමත් සමඟ ම පොලිසිය විශ්ව විද්‍යාල භූමියට ඇතුලත් වීමෙන් පහරදීම නැවතී ඇත. මේ වන විට විශ්ව විද්‍යාලයට වී ඇති හානි පිලිබඳ තවමත් පැහැදිලි අදහසක් නැති අතර තුවාල කරුවන් පිළිබඳවද ස්ථිර ගණනය කිරීමක් කර නොමැත. නමුත් විශ්ව විද්‍යාල සිසුන් පවසන අන්දමට නම්, පොලිසිය විසින් මෙම පරිමාණයේ ගැටලුවකට මෙයට වඩා ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවේ නම් හානිය අවම කරගැනීමට හැකිව තිබුණි. 


Related Posts Plugin for WordPress, Blogger...