(2002 ළමයි) - එල්.ටී.ටී.ඊ මාධ්‍ය හමුව 01

සිව්වන කොටස
එක්සත් ජාතික පක්ෂය 2001 දෙසැම්බර් පස්වැනිදා බලයට පත්විය. චන්ද‍්‍රිකා කුමාරණතුංග 04 වැනි විධායක ජනාධිපති ලෙස කටයුතු කරන විට රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එජාපය රට පාලනය කළේය. 

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ප‍්‍රථම වතාවට විධායකය හා ව්‍යවස්ථාදායකය එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ දේශපාලන මත දරණ කණ්ඩායම් දෙකක් අතර පැවතුණි. 2001 රජය චන්ද‍්‍රිකාගෙන් ගිලිහෙන විට පොදුපෙරමුණට තමන්ගේ මතය ජනතාව අතරට ගෙන යන්නට මාධ්‍ය ආයතනයක් නොමැති විය.

1994 සිට පොදුපෙරමුණ යටතේ රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා සංඛ්‍යාත ලබාගත් අය පවා ඒ මොහොත වන විට එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාත අයුරින් තමන්ගේ මාධ්‍ය ආයතනහී මතවාද සමාජගත කරමින් සිටි අතරඑජාපයේ ඊනියා සටන් විරාම ගිවිසුම හා ඉන් රජයේ හමුදා මුහුණ පා සිටි අසීරුතා මෙන්ම රටේ ස්වරීත්වය භෞමික අඛණ්ඩතාවයට සටන් විරාම ගිවිසුමෙන් වන හානිය පිළිබඳවය කරුණු කියන්නට ප‍්‍රබල මාධ්‍යයක් නොමැති විය. ඒ පැවැති අඩුව පිරිමසන්නට පොදුපෙරමුණට සහාය දක්වන විකල්ප දහරාවේ පුවත් පත් 03ක් බිහිවූ අතර ලක්මිණ, ලංකා හා දිනකර එම පුවත්පත් තුනයි.

එයින් අප සේවය කල ලක්මින සීමා රහිතව චන්ද‍්‍රිකාවාදී වූ අතර ලංකා පුවත් පත ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක‍්‍රියාවලියට සහාය පළ කලේය. දිනකර පුවත් පත ශ‍්‍රිලනිපයේ නිල පුවත්පත විය. ලක්මින පුවත්පතේ ප‍්‍රධාන කතෘ ලෙස සේවය කල කුලසිරි රාජපක්ෂ මහතාද පුවත්පතෙන් ඉවත්වූ අතර එහි අඩුව නාමමාත‍්‍රිකව පුරවාලන්නට වූයේ මාහටය. ලංකා පුවත්පතේ ප‍්‍රවෘත්ති කතෘවරයා වූයේ ධර්ම ශ‍්‍රී කාරියවසම්ය. දිනකර පුවත්පතේ ප‍්‍රධාන කතෘවරයා ලෙස කරුණාරත්න පරණවිතාන සේවය කල අතර එහි ප‍්‍රවෘත්ති කතෘවරයා වූයේ මහින්ද අබේසුන්දරයි.

මෙම පුවත්පත් 03 සෑම අවස්ථාවකම පාහේ එකිනෙක සමඟ සහයෝගයෙන් හා අවබෝධයෙන් කටයුතු කරනු ලැබූ අතර අප හැමගේ මාධ්‍ය භාවිතාවේ පොදු සතුරා බවට එජාපය හා කොටි සංවිධානය පත්ව තිබුණි.

සටන් විරාම ගිවිසුම පිළිබඳව අර්ථකතනයක් කොටින්ගේ පාර්ශවයෙන් ලබාදෙන මාධ්‍ය හමුවක් එල්.ටී.ටී.ඊ ය විසින් කිලිනොච්චියේ දී කැඳවා තිබුණි.

”නිරෝධ කොටි සංවිධානයේ මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. ලක්මිණ පත්තරෙන් ඔයා යන්න. ඩාලි රෝඞ් එකේ දිනකර ඔෆිස් එකට පාන්දර 5ට යන්න එතන ඉඳන් ඔයාට කිලිනොච්චි යන්න පුළුවන්”

නිශාන්ත රණතුංගගේ උපදෙස් අනුව මම පසුවදා අළුයම දිනකර ඔෆිස් එකවෙත ගියේය. මග වියදම් සඳහා පුවත්පතින් ලබාදුන් රුපියල් 5000ක්ද මා සතුව තිබුණි.

”නිරෝධ එන්න, පරණේ ආවම අපිට යන්න පුළුවන් ”

දිනකර කාර්යාලයේදී මා පිළිගත්තේ සී.දොඩාවත්තයි. දොඩා එකල දිනකර පුවත්පතේ සේවය කළේය. කරුණාරත්න පරණවිතාන, සී.දොඩාවත්ත හා මා කැටුව ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් කිලිනොච්චිය බලා පිටත්විය. කොටි සංවිධානය මාධ්‍ය හමුව සංවිධානය කර තිබුනේ පසුවැනිදා හෙයින් අපගේ ගමනේද මන්දගාමී බවක් දක්නට ලැබුණි. සවස පහ පමණ වන විට රජයේ පාලන ප‍්‍රදේශයේ අවසාන මුරකපොල්ල වසා දමන බැවින් අප සියළු දෙනාට එදින රාත‍්‍රිය ගතකරන්නට සිදුවුයේ වව්නියාව නගරයේය.

සවස් කාලයේ වව්නියාව නගරයේ ඇවිද ගිය මට දක්කට ලැබුණේ කොළඹ පිටකොටුවේ දර්ශනයකි. වව්නියාව දැඩි කාර්ය බහුල නගරයක් විය. නගරය පුරාම ද‍්‍රවිඩ භාෂාව පමණක් ඇසුණු අතර සිංහල භාෂාවෙන් කතාකරන මාහට ප‍්‍රථම වතාවට මා සුළු ජාතිකයෙක් යන හැඟීම ඇතිවුණි. රාත‍්‍රිය ගතකරන්නට අපි වච්නියාව නගරයේ නවාතැන් පලකින් කාමර දෙකක් වෙන්කර ගත් අතර එක් කාමරයක දොඩා සහ පරණවිතානට වූ අතර අනෙක් කාමරයේ මමත් අපගේ රථයේ රියදුරාත් වූහ.

” දොඩා අයියේ, අමුවෙන්ද ඉන්න යන්නේ මොනවා හරි කරමුද ? ” යෝජනාව මගෙනි.

” කරමු, හැබැයි පරණේ වැඩිය ගන්න එකක් නැහැ. හෙට උදේට ලොකු වැඩක් තියෙන එකේ මොනව හරි පොඩියට කරමු” මාගේ යෝජනාව දොඩා ස්ථීර කලේය.

නමුත් වව්නියාවේදී එදින රාත‍්‍රියේ අපට සොයා ගත හැකිවූයේ ගල් බෝතලයක් පමණි. කටගැස්මට ගැනීමට හරිහන් දෙයක් නොවුන හෙයින් කපාගත් රතුළුණු හා පකඩ පැකට් එකකුත් සැන්ඩි වශයෙන් ක්ලෝරීන් රසැති ජලයත් ලබා ගැනීමට සිදුවිය. 


වව්නියාවට එන අතර මගදී කොටි සංවිධානය බරපතල ලෙස විවේචනය කරමින් පැමිණි අපි මෙහිදී එසේ නොකිරීමට වග බලා ගත්තේ එකිනෙකාගේ කතිකාවකින් තොරවමට. බෝතලයෙන් වැඩිකොටසකට වගකීමට මටත් දොඩාටත් සිදුවූ අතර කරු ෂොට් එකක් දෙකකට වඩා පාවිච්චි කලේ නැත.

පසුදින උදෑසන 6 පමණ අපි හමුදාව රැදී සිටි අවසන් මුරපොළ පසුකල අතර එහිදී අපගේ ගමන සදහා රා්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණු අනුමැතියන් වගේම අප ගමන්කල වාහනයද දැඩි පරීක්ෂාවකට ලක්කෙරුණි. එලෙසම අපගේ ජාතික හැදුනුම්පත්, රාජකාරී හැදුනුම්පත් වාගේම වාහනයේ සියළු ලියකියවිලි හී ඡයා පිටපත් මුරපොලෙහි රදවා තබා ගත්හ.

සාම කලාපය හරහා කොටි පාලන ප‍්‍රදේශයට ගිය ගමන ලබන සතියේ

-නුවන් නිරෝධ

Related Posts Plugin for WordPress, Blogger...