(2002 ළමයි) - ලක්මිණ තුල රජවීම

දෙවන කොටස

එය දෙදහස් දෙක වසරේ මැයි මාසයේ දිනකි. මා පිටකෝට්ටේ පිහිටා තිබූ ලක්මිණ කාර්යාලයට ගොඩ විය. වෙනදා ඇර තිබෙන දොරවල් හැම එකක්ම එදින වසා තිබුණි. ඉදිරිපස පුටුවක නිදිකිරා වැටෙමින් සිටියේ පෞද්ගලික ආරක්ෂක සේවයක මහළු ආරක්ෂකයෙකි.

”මහත්තයා පත්තරේටද ආවේ” මා කිසිවක් විමසීමට ප‍්‍රථම ඔහු මගෙන් ප‍්‍රශ්න කර සිටියේය. මා හිස වැනුවා පමණි.

”ආ මෙන්න අළුත් තැන ඇඞ්රස් එක.බොරැල්ල දේවි බාලිකා ඉස්කෝලේ ගාවට යන්න. එතනින් පාර පැන්නම තියෙන පළවෙනි පාරේ පළමු වැනි සුදුපාට ගාලා තියෙන බිල්ඩින් එකේ උඩ තට්ටුවේ තමයි ඔෆිස් එක තියෙන්නේ” සිකිරුයුටි අංකල් ලබාදුන් ලිපිනයත් රැගෙන මම ලක්මිණ නව කාර්යාලය සොයා පැමිණියෙමි.

මා එහි එන විට කවුදෝ කෙනෙක් ගේට්ටුවෙන් එළියට අවුත් කළු පැහැති සුඛෝපභෝගී වාහනයක නැග පිටත්ව ගියේය.


”කවුද බං ඒ” ඔහු සමග පඩි පෙළ අසලට පැමිණ තිබූ අසේල ගුණරත්නගෙන් මම විමසා සිටියෙමි.
”අයියෝ මල්ලි උඹ තාම එයාව දන්නේ නැද්ද? ඒ තමයි ශ‍්‍රීපතී සූරියආරච්චි, පත්තරේ අයිතිකාරයා”


ඇත්තම කාරණය ඒ වන විට මම ශී‍්‍රපතී කියන නම අසා තිබුණේ නැත. නමුත් අසේලගේ අවඥාසහගත සිනහව හමුවේ මා ඊළගට ඇසීමට සූදානම්වූ ප‍්‍රශ්න කිහිපය හිතේ සගවා ගතිමි.
ආ මෙයාද ශ‍්‍රීපතී කියන්නාක් වැනි බැල්මක් මම අසේල වෙත යොමුකොට ඔහුත් සමග කාර්යාලයට ගොඩවුනෙම්.

මාගේ මතකයේ හැටියට එය දෙදහස් දෙකේ මැයි මාසයේ අවසාන සතියයි. කාර්යාලයේ වෙනදා නොතිබුණු කලබලකාරී ස්වරූපයක් දකින්නට ලැබුණි. මටත් සසංකටත් මෙය විශාල ප‍්‍රශ්නයක් වුවත් එයට මැදි නොවී සිටින්නට අපි දෙදෙනා වගබලා ගත්තෙමු.

”වරෙන් බං අපි ගිහින් විටක් කාලා එමු”
අපි බොරැුල්ල කොටා පාර දෙසට ඇවිද ගියෙමු. අප සෙවූ බුලත් විට ඇත්තේ කොටා පාරේ පිහිටි පෙට්ටි කඩයක පමණි. නැවතත් අපි කාර්යාලයට පැමිණෙන විට සියළු මේස හිස්ව තිබුණි.


මාත් සසංකත් ඇමතූ ප‍්‍රවෘත්තී කතෘවරයා
”අපි ඔක්කලම අද පත්තරයෙන් අයින් වෙනවා. ඔයාලා දෙන්නත් අයින් වෙන්න. වෙන ජොබි එකක් හොයා ගන්න” යනුවෙන් ප‍්‍රකාශ කලේය.
මාත් සසංකත් එකිනෙකාගේ මුහුණ බලා ගත්තෙමු.

”අපි යනවා, උඹලත් වරෙන් යන්න.” අසේල අපිට ආරාධනා කලේය අපිට බස් එකේ ආපහු යන්නවත් අතේ මුදල් නොතිබුණි. අපි හිටියේ හවසට වලියාගෙන් රුපියල් පනහක් ඉල්ලා ගන්නා අදහසිනි. පවතින වාතාවරණය අනුව අපිට කිසිවෙකුගෙන් බස් වියදම ඉල්ලා සිටීම කල නොහැක්කක් විය. 


”අපි තව ටිකක් ඉදලා යන්නම්, ගෝතමී රෝඞ් එකේ යාළුවෙක් ඉන්නවා. උගේ ගෙදරට ගිහින් යන්නම්” අපි අසේලට ප‍්‍රකාශ කලෙමු. පේ‍්‍රමකුමාර රාජපක්ෂ,සරත් වන්නිආරව්චි,අසේල ගුණරත්න, ඔස්මන්ඞ්,තුෂාර ඇතුළු තවත් බොහෝ දෙනෙක් එලෙස ලක්මිණෙන් සමුගත්හ. එම සමුගැනීම මාගේ හදවතට දැනුනේ නැත. මා ඒ මොහොතේ පසුවුනේ මේ කුමක්දැයි සිතාගත නොහැකිව තිබූ තත්වයකයි. 


මෙයට පෙර මා මෙවැනි දේ දැක නොමැත. අනික අපි කිසිවකු අතරේ ඒ වන විට හදවත් අතර පවතින බැදීම්ගත ඇසුරක් නොවුණි. පේ‍්‍රමකුමාර මහත්තයා හා අපි අතර වුයේ ස්වාමියා හා සේවකයා අතර පවතින බැදීමකි. අනෙක් පිරිස එකල අප වෙත දැක්වූයේ පුවත්පත් කලාවේ ප‍්‍රවීණයින් ආධුනිකයින්ට දක්වන ආකල්පමය ස්වරූපයකි. එය කෙතරම් උග‍්‍රදැයි කිවහොත් සමහර දිනවල ඔවුනට දිවා ආහාරය රැගෙන ඒමට පවා කඬේ යාමට සිදුවූයේ අපටයි.

”උඹලා දෙන්න ගියේ නැද්දද කොල්ලනේ” පත්තර කන්තෝරුවේ පඩිපෙල මත සිටගෙන සිටි මාගේ පිටට තට්ටු කලේ සිරිලාල් කොඩිකාර මහත්තයායි. රංචාගොඩ ළමයා තීරු කාව්‍ය ලිපිය අප එකල ආසාවෙන් කියවු ලිපියකි. පාසැල් යන කාලයේ පටන් අපි සිරිලාල් කොඩිකාර නැමැති දැවැන්ත පුවත්පත් කලාවේදියා ගැන අසා ඇත්තෙමු.


”වරෙන් යන්න, මම යනවා පොඩි අඩියක් ගහන්න” අපි අතේ සතේ නැතිවග ඔහුට නොකියා ඔහු සම`ග පිටත්ව ගියෙමු. ඔහු පාරේ ඇවිදගත නොහැකි තරමට වයසට ගොස් සිටියේය. කාසල් වීදියේ කාන්තා රෝහල අසල පිහිටි තැබෑරුම අසලට ගිය සිරිලාල් කොඩිකාර මහතා කාලේ බෝතලයක් ගෙන එක හුස්මට කටේ හලාගනු ලැබීය. අපි බලාපොරොත්තුවෙන් සිටි ”උඹලා බොනවද? ” යන වචනය සිරිලාල් මහතාගේ කටින් පිට නොවුණි. ඒ වගේම පත්තර කන්තෝරුවේ සිද්ධිය පවා කතා නොකෙරුණි.


” උන් ගියා කියලා පත්තර කන්තෝරුව වහන්නේ නැහැ, ඉතිරිවෙලා ඉන්න ටිකදෙනාගෙන් හරි පත්තරය කරන්න කියලා ශ‍්‍රීපතී කිව්වා. කුලසිරි මහත්තයා බය වෙන්න එපා. ඕන එකකකට මමයි ශී‍්‍රපතියි ඉන්නවා” 


අප නැවත පත්තර කන්තෝරුවට එනවිට කළු මහත මනුස්සයෙක් ප‍්‍රධාන කතෘ කුලසිරි රාජපක්ෂ මහතාගේ කාමරයේ ගෝරනාඩු කරමින් සිටියහ.
”ඔය එස්.කේ.ආර්.සිල්වා ශ‍්‍රී පතිගේ දෙවැනියා විදියට ඉන්නේ ඔයා” මාගේ මුහුණේවූ ප‍්‍රශ්නාර්ථ සලකුණට කවුදෝ කෙනෙක් පිලිතුරු ලබාදුනි. ජීවිතේ පළවෙනි වතාවට මම ඒ නමද ඇසුවෙමි.


ඒ සමගම පුවත් පතේ දුරකථනය නාද විය.
” ඕක උස්සනවා” ඒ හඩ එස්.කේ.ආර්.සිල්වාගේය. මම දුරකතනය තිබූ මේසය අසල හිටගෙන සිටි බැවින් ඇමතුම ලබා ගැනීමට සිදුවූයේ මාහටය.

 
”කවුද ඔය” දුරකථන ඇමතුම ලබාදුන් කෙනා මගෙන් විමසීය.
”මම නිරෝධ”
”හො`දට මතක තියා ගන්නවා තමුන්ව රස්සාවට ගත්තේ මම, අපි අයින්වෙලා ගියාම යන්නේ නැතිව තමුන්ලා මොකද ඔතන කරන්නේ. ගුණමකුවෝ වෙන්න හදන්න එපා. ඉක්මනින් ඔතනින් යනව”
”කවුද මේ”
”මම පේ‍්‍රමකුමාර රාජපක්ෂ”


දුරකතනය විසන්ධි විය. නැහැ අපි යන්නේ නැහැ. අපි පත්තරේ ඉන්නවා. ගුණමකුවන් යැයි හැදින්වූ මා ක්ෂණික තීරණයක් ගත්තෙමි. එදිනම හවස මමත්,ගරාගොඩ ජයරත්නත්,පැතුම් සසංකත්,කුලසිරි රාජපක්ෂත්, පරිගණක අංශයේ ප‍්‍රධානියාව සිටි රොෂාන් නැමැත්තාත්, බෙදාහැරීමේ අංශය භාරව සිටි ශ‍්‍රීපති මහත්තයාගේ සමීපතම සේවකයෙකුවූ චම්පිකත් ජාවත්තේ පිහිටි ස්ථානයකදී ශ‍්‍රීපතී සූරියආරච්චි හා එස්.කේ.ආර්.සිල්වා මුණ ගැසුනෙමු.


ලක්මිණ පුවත්පතේ ඉදිරි කටයුතු පිළිබදව එහිදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡ කලෙමු. එදින අපි මුණ ගැසුණු ස්ථානය රජයේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය බවත් ශ‍්‍රීපතී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වරයා බවත් එස්.කේ.ආර්.සිල්වා අත්‍යවශ්‍ය සේවා නියෝජ්‍ය කොමසාරිස් බවත් මා දැන ගත්තේ සති කිහිපයක් ගතවීමෙන් අනතුරුවය.

 පළමු කොටස බලන්න මෙතනින්

Related Posts Plugin for WordPress, Blogger...