ලංකාවේ දරුවන්ට උදව් කරන ජර්මන් කාන්තාව
Thursday, August 9, 2012ජර්මනියේ උපත ලද උර්සුල බයර් මහත්මිය ශ්‍රී ලංකාවට සමීප වන්නේ දෛවෝපගත සිදුවීමක් ලෙසය. වර්ෂ 1979 දී මුල්වරට ශ්‍රී ලංකාවට පා තැබූ ඇය මේ වනවිට වාර අනුහතරකට ආසන්න ගණනක් මෙරටට පැමිණ ඇත.
සාමය හා හැදියාව උදෙසා ජාත්‍යන්තර සංවිධානයේ අධ්‍යක්ෂිකාව ඇයයි. අයගේ මඟ පෙන්වීම මත එම සංවිධානය දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි සමාජ සත්කාරක ක්‍රියාවන් සිදුකර තිබේ.
ආර්ථික හයියක් නැති එහෙත් දක්ෂතාව හා ධෛර්යය ඇති දු පුතුන් විශාල ප්‍රමාණයකට උර්සුල මහත්මිය අත්වැලක් වී ඇත. මේ වනවිටත් ඇය යටතේ ශිෂ්‍යත්වලාභීන් ලෙස ආධාර ලබන ප්‍රමාණය 750 කට ආසන්නය. එසේම දිවයිනේ අතිශය දුෂ්කර ගම්මාන රැසක සංවර්ධන කටයුතු වෙනුවෙන් උර්සුල මහත්මිය උරදී සිටින්නීය.
ආගමික සිද්ධස්ථාන, පුස්තකාල, ප්‍රජා ශාලා, දහම් පාසල් ඉදිකිරීම් මෙන්ම ඒවායේ නඩත්තු කටයුතු වෙනුවෙන්න්ද ඇය වෙහෙසෙන්නීය. මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සේවය කරන්නට අවශ්‍ය වන්නේ සංවේදී හදවතක් මිස රටක් නොවන ජර්මන් ජාතික උර්සුලා මහත්මිය ක්‍රියාවෙන් ඔප්පුකරන්නීය.
උර්සුලා මහත්මියගේ හැත්තෑ වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගංගාරාම විහාරස්ථානයෙදී සෙත් පැතීමේ පින්කමක් පැවතී අතර ඉන් අනතුරුව උර්සුලා බවර් සමග කල කතාබහකි මේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආත්මීය වශයෙන් ලොකු බැදීමක් මගේ හිතට දැනෙනවා. මුලින්ම මේ රටට පය ගහපු දවසේ මගේ ශරීරයට පවා වචනයෙන් විස්තර කල නොහැකි ආකාරයේ ශක්තියක් දැනුනා. ශ්‍රී ලංකාව කියන්නේ මගේ මවුරට කියලයි මට හිතෙන්නේ.
මම ඉපදුනේ ජර්මනියේ. ඒ 1942 වර්ෂයේදී. මගේ ළමා අවධිය සුන්දර අත්දැකීම් වලින්, මතකයන්ගෙන් පිරුණු එකක් නෙවෙයි. මගේ පවුල දුප්පත්කමේ අන්තෙටම ගිලුණු පවුලක්. දින ගණන් අපිට කෑම නැතිව කුසගින්නේ ගතකරලා තියනවා. හරියට ගෙයක් දොරක් නැතිව හිම මිදෙන සීතලේ ගුලිවෙලා ඉදල තියනවා.
මගේ පිය සංගීතයට ලැදි කෙනෙක්. එත් දෙවැනි ලෝක යුද්ධ සමයේ අදුරු අත්දැකීම් වලින් හෙම්බත් වෙලා හිටපු ජර්මනියේ මිනිස්සුන්ට මගේ තාත්තගේ වයලීන් වාදනය රසවිදින්නට තරම් මානසික නිදහසක් තිබුණ නෑ.
මගේ පවුල මොනතරම් දුප්පත්ද කියනවා නම් මගේ තාත්ත මාව අවුරුදු දෙකකට පාසලෙන් ඉවත්කර ගත්ත. ඒ වනවිට මම වැඩිවියට පත් තරුණියක්. මගේ පියා ලොකු උත්සාහයක් දැරුවා සමාජයෙන් වහන්කරලා මාව ආරක්ෂා කරන්න. 1966 වර්ෂයේදී මම විවාහ වුනා. ඔහු ස්වර්ණාභරණ වෙළෙන්දෙක්. ඇත්තටම විවාහය තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුනේ. මගේ සැමියා මට හුගාක් ආදරේ කරපු, මගේ සතුට ගැන හිතපු කෙනෙක්.
එක්තරා කාලයක නින්න්දෙන් මම විදේශීය භාෂාවකින් කතාකරලා තියනවා. මගේ මතකයේ හැටියට 1978 වර්ෂය. මගේ සැමියා මගෙන් ඒ ගැන විමසුවා. එත් ඒ භාෂාව සම්බන්ධයෙන් අවබෝධයක් මට තිබුනේ නෑ. ඒ වගේම එක්තරා රැයකදී මම හීනෙන් දැක්ක බොහොම කඩවසම්, ප්‍රියමනාප පුද්ගලයෙක්. ඔහු මට ඇරයුම් කළා "අපේ රටට එන්න" කියලා. නමුත් ඇත්තටම ඔහුගේ රට කුමක්ද යන වග මම දැනගෙන හිටියේ නැහැ. මේ කාලේදී මගේ සැමියා තීරණය කළා වෙනත් රටකට ගිහින් විවේකය ගතකරන්න.
සංචාරයකට සුදුසු රටක් සම්බන්ධයෙන් හොයල බලනවිට තමයි අපිට ලංකාව ගැන දැනගන්න ලැබුනේ. අපි ලංකාවට යා යුතුයි කියලා තීරණය කරද්දීම අභ්‍යන්තරිකව මට දුනා මේක දෛවෝපගත සිදුවීමක් කියලා. අපි මුලින්ම ලංකාවට ආවේ 1979 වර්ෂයේදී.
ශ්‍රී ලංකාවට එන අතරමගදී ප්‍රංශයේ පැරිස් නුවර සිට එන ශ්‍රී ලාංකිකයෙන් මොස්කව් නුවරදී අපට මුණ ගැසුනා. 'එන්න අපේ රටට එන්න' කියල හීනෙන් මට ඇරයුම් කල පුද්ගලයාගේ රුවට සමාන රුවක් ඔහුට තිබුනේ. ඒ තමයි අපේ ප්‍රථම ලාංකික හිතවතා. ඔහු නමින් විජය කුමාරතුංග. පසුකාලීනව ඔහු අපේ සමීපතම හිතවතෙක් වුනා. ඔහුගේ අම්මාට මම ආමන්ත්‍රණය කලේ "කළු අම්මා" කියල.
මම කවදාවත් පුනරුත්පත්තිය විශ්වාස කලේ නැහැ. එත් මුලින්ම ශ්‍රී ලංකා පොලවට පය ගහපු දවසේ ඉදල මම පුනරුත්පත්තිය 100% ක් විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හුගාක් සමීප හැගීමක් මට දැනෙන්නේ. එක මේ ආකාරයේ එකක් කියල විස්තර කරන්න මට තේරෙන් නැහැ. මගේ අභ්‍යන්තරයෙන් මට දැනෙනවා මීට පෙර ලංකාවේ උපත ලබල තියනවා කියලා.
මම උපන් රට ජර්මනිය. එත් ජර්මනිය සම්බන්ධයෙන් දැනෙන හැගීමට වඩා ලංකාව සම්බන්ධයෙන් මට දැනෙන හැගීම බලවත්. මම මට පුලුවන් උපරිමයෙන් ලංකාවට උදව් කරනවා. එක මට අසීමිත සතුටක්.
ශ්‍රී ලංකාවේ හැම ප්‍රදේශයකටම වගේ මගේ දු පුතුන් ඉන්නවා. මගේ එකම පුතා ගැන දැනෙන ආදරයමයි මට ඒ දරුවෝ ගැනත් දැනෙන්නේ. ඒ දරුවෝ "සුදු අම්මා" කියල මට කතා කරද්දී මගේ හිත සතුටෙන් පිරෙනවා. ජර්මනියේ මිනිසුන්ට තවත් අයෙක් සමග සුහදව හිනාවෙන්න, කතාකරන්න වෙලාවක් නෑ. එත් ලංකාවේ හැම අයකුගේම මුහුණ සුහදශීලී හිනාවකින් පිරිලා. ඒ හිනාවට පුළුවන් මිනිස් හදවත් සුවපත් කරන්න. මොකද ඒ හිනාවෙන් ජීවය ලබන මගේ හදවත ඒ හිනාවෙ වටිනාකම හොදට අදුරනව.