බාල ඉන්ධන නිසා දැනට පාඩුව ලක්ෂ 780යි.

බාල ඉන්ධන භාවිතා කරමින් වාහන ධාවනය කිරීම හේතුවෙන් ලංගම සහ දුම්රිය සේවාවන්ගෙන් පමණක් මේ වන විට රුපියල් ලක්ෂ 780 ක් රජයට පාඩු වී ඇති බව වාර්තා වෙනවා. ඒ ලංගම බස් රථ වලට සිදු වූ හානිය ලක්ෂ 750 ක් සහ දුම්රිය එන්ජින් වල කරන්නට සිදු වූ අළුත් වැඩියා කටයුතු වෙනුවෙන් ලක්ෂ 30 කුත් ලෙසයි. මේ අනුව බාල ඉන්ධන හේතුවෙන් දිනකට සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ 10 ක් පමණ වනවා.

දැනටත් දියවැඩියාව වැළඳී ඇති රෝගියකු සේ නඩත්තු වන ලංගමට, ඛණිජතෙල් සංස්ථාව බාල ඉන්ධන ලබා දීම නිසා අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ 06 ක් ඇතුළුව බස් රථ 56 ක් අළුත්වැඩියා කටයුතු කිරීමට සිදුව තිබෙන බවත් ඒ සඳහා ලක්ෂ 750 ක් වැය කිරීමට සිදුව තිබෙන බවත් සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කලා.

සේවක වැටුප් පවා හරි හැටි ගෙවා ගැනීමට නොහැකි තත්වයකට බංකොලොත් වී ඇති ලංගම ට මෙතරම් විශාල මුදලක පාඩුවක් දරාගැනීමට නොහැකි බවත් එම මුදල ඛණිජතෙල් සංස්ථාව විසින් හෝ මහා භාණ්ඩාගාරය විසින් පියවිය යුතු බවයි ලියනගේ මහතා වැඩිදුරටත් පවසන්නේ.


එසේම දුම්රිය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුමතිපාල මානවඩු මහතා හෙලි කලේ දැනට කාර්මික දෝශ වලට ලක් වී ඇති දුම්රිය එන්ජින් 33ක් අළුත් වැඩියා කිරීමේ දී ඩීසල් ෆිල්ටර් 102 ක් අළුතින් දැමීමට සිදු වූ බවත් ඒ වෙනුවෙන් රුපියල් තිස් ලක්ෂ හැට දහසක (30,60,000/=) වියදමක් දරන්නට සිදු වූ බවයි. මෙලෙස අළුත්වැඩියා කිරීමට ලක් වූ එන්ජින් වල ෆිල්ටර් 109 ක් ඇති අතර ඉන් 102 ක් ම විනාශ වී ඇති බවටයි තොරතුරු ලැබෙන්නේ.

මේ අතර බාල ඩීසල් යෙදවීම නිසා පුද්ගලික බස් ර්ථ ප්‍රවාහනයට ද විශාල අර්බුධයක් මතු වූ බව පැවසෙනවා. මතුගම, හලාවත, කොළඹ කොට්ටාව යන ප්‍රදේශ වලට ගමන් ගත් බස් රථ අතරමඟ ඇනහිටි බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ පිළිබඳව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පවසන්නේ මෙවැන්නක්.

"අද මේවා ගැන කතා කරන්න ලංකාවෙ ප්‍රවාහන ඇමති කෙනෙක් ඉන්නවද කියන්න අපි දන්නෙ නෑ. පලාත් ඇමති වරුත් එහෙමයි. කාලසටහනක් තාම හදල නෑ. බස්නාහිර පලාතේ හිතුමතේට පර්මිට් දීගෙන යනවා. ඇමති වරු සුපිරි ඩීසල් ඒ අයගෙ වාහන වලට ගන්නවා.

මේ තත්වය තුල ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්න අපි තීරණය කළා. බස් රථ වලට සිදු වූ හානිය ලබා දෙන ලෙසත් ප්‍රමිතිය සහතික කල ඩීසල් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලමින් අගෝස්තු මස අගදී මෙම නඩුව ගොනු කිරීමට සැලසුම් කරල තිබෙනවා."

Related Posts Plugin for WordPress, Blogger...