අල්ලස් ගත් කොස්තාපල්වරු දෙදෙනා දැලේ
Thursday, October 25, 2012
ගල් අරක්කු භාගයයි
තඹුත්තේගම පොලිසියට අනුයුක්තව රාජකාරියේ නියුතු රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු නීතිය කඩ කළා යැයි කියන යතුරුපැදිකරුවකුගෙන් රු. 1000ක මුදලක් හා ගල් අරක්කු බෝතල් භාගයක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අතටම අල්ලා ගැනීමට තඹුත්තේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල සෙනවිරත්න මහතා සමත්වී ඇත.
පෙරේදා 23දා උදේ 6.30ට පමණ රාජාංගණය සිරිමාපුර පදිංචි ගොවි මහතකු තම ගොවි නිෂ්පාදන තඹුත්තේගම විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානයට ගෙන එමින් සිටියදී තමන් පැමිණි යතුරුපැදියේ ප්‍රධාන ලාම්පුව දල්වා නොමැති බව පවසා රියැදුරු බලපත්‍රය පොලිස් නිලධාරීන් දෙදෙනා බාරයට ගෙන ඇති අතර යතුරුපැදිකරුට නීති මඟින් කටයුතු නොකර සිටීමට නම් තමන් සවස රාජකාරියට පැමිණෙන විට ගල්අරක්කු බාගයක් හා රු. 1000ක මුදලක් රැගෙන එන ලෙස යතුරුපැදිකරුට පවසා ඇත.
මේ පොලිස් නිලධාරීන් තමන් ගෙන් මෙසේ අල්ලස් ලබාගැනීමට කටයුතු කරන බව යතුරුපැදිකරු මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උපුල සෙනවිරත්න මහතාට පැමිණිලි කර තිබේ. උපුල සෙනවිරත්න මහතා රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මොහොමඩ් නියාස් මහතා සමඟ තම නිල රථයෙන් ගොස් මේ සිද්ධිය සිදුවන අයුරු බලා තඹුත්තේගම නිදහස් උයන අසලදී රු.1000 ක මුදලක් හා ගල්අරක්කු බෝතල් බාගයක් ලබාගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. මේ පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට පත්වන විට පැය දෙකක කාලය ඇතුළත රු. 2500ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන තිබියදී එම මුදලද අත්අඩංගුවට ගැනීමට මූලස්ථාන පොලිස් ස්ථානාධිපති උපුල සෙනවිරත්න මහතාට හැකිවිය.
පසුගිය කාලයේදී තඹුත්තේගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් යතුරුපැදි හා වාහන හිමියන්ගෙන් අල්ලස් වශයෙන් මුදල් හා වෙනත් දෑ ලබාගන්නා බවට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නිර්නාමික පැමිණිලි රාශියක් ලැබී තිබී ඇත. මේ පිළිබඳ තම නිලධාරීන් දැනුවත් කර එසේ නොකරන ලෙස නිලධාරීන්ගේ පන්ති හරහා ද දන්වා ඇත. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර තඹුත්තේගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල සෙනවිරත්න මහතා මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරයි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු නොකර සිටීමට යතුරුපැදිකරුවන් දෙදෙනකුගෙන් රුපියල් දහසක් සහ අරක්කු බෝතල් බාගයක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ තඹුත්තේගම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.
තඹුත්තේගම මහෙස්ත්‍රාත් චාමර කැකිරිදෙණිය මහතා ඊයේ (24දා) කළ නියෝගයකට අනුව ලබන මස 5දා තෙක් එලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වන මුණසිංහ ආරච්චිගේ දයාපාල (48344) සහ චමින්ද නිරෝෂණ කුමාර (53542) යන දෙදෙනාය.
එම නිලධාරීන් දෙදෙනා පොලසිය විසින් ගෙන ආ අයුරු

- එප්පාවල - කුමාර දිසානායක, අනුරාධපුර-චින්තක චන්ද්‍රසිරි
ජායාරුප
- ගල්ගමුවේ සංජිව රත්නායක
