ක්‍රිස් ගේල් ගැන ඇමතිවරුන් හා කලාකරුවන් කියන කතා
Monday, October 22, 2012
ආසියාතික අපට සමීප වෙන්න පුළුවන් මනුස්සයෙක් - විමල් වීරවංශ
ක්‍රිස් ගේල් දක්ෂ පිතිකරුවෙක් පමණක් නෙමෙයි ආසියාතික අපට සමීප වෙන්න පුළුවන් මනුස්සයෙක්. ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවා නිසා ලෝකයේම අවධානයට ලක්වුණා.ක්‍රීඩා පිටිය තුළ ඔහුගේ සැහැල්ලු හැසිරීම අපි‍්‍රකානුවන්ට පොදු ලක්ෂණයක් වුණාට, ක්‍රිස් ගේල් පෙන්නුම් කළේ සැහැල්ලු සුන්දර නිහතමානී මිනිසෙක් ඔහු තුළ ඉන්නවා කියන එකයි.

ඔහු ක්‍රීඩා පිටියේ ඉදිරිපත් කළ නර්තන ශෛලිය කුමක් වුණත් එයින් ඔහු පෙන්නුම් කළේ ඔහුගේ අව්‍යාජත්වයයි. සතුට දැණුනම ඒ සතුට ප්‍රකාශ කිරීමත්, දුකක් දැණුනම ඒ දුක ප්‍රකාශ කිරීමත් අපි ඔහුගෙන් දැක්කා. එහෙම මිනිස්සු ඉන්නවා. උද්දාම වෙන්න ඕන තැන ඒ විදිහටත් දුකක් හිතුණාම අඬන එකත් සංවේදී කෙනකුගේ ලක්ෂණයක්.
ඇත්තෙන්ම අවිවේකී බව නිසා මට මේ ලෝක කුසලාන තරගාවලියේ ඔහු ක්‍රීඩා කළ මුල් තරග නරඹන්නට නොහැකි වුණා. ඒත් මම ඔහු ක්‍රීඩා කරනවා දැක තිබෙනවා. හැබැයි අවසන් තරගය නරඹද්දී නම් මම ප්‍රාර්ථනා කළේ ක්‍රිස් ගේල් මුල් ඕවර කීපය තුළ දැවී යන්න ඕන කියන එකයි. ඒ මගේ රටට ජයග්‍රහණය හිමිවෙන්න ඕන නිසා.
මොකද ක්‍රිස් ගේල් දැවී යාම අපට ජයග්‍රහණය කරා යන්න වැඩි අවස්ථාවක් ලබා දේවි කියන විශ්වාසය තිබුණු නිසා. හිතුවා වගේම ඔහු දැවී ගියා වුණත් අපට ජයග්‍රහණය කරන්න බැරිවුණා. නමුත් කුසලානය අපට නොලැබීම පිළිබඳව ඒ තරම් දුකක් හිතට දැනුණෙ නෑ. හේතුව කුසලානය දිනාගත්තෙ අපට සමීප, සංවේදී ක්‍රීඩකයින් කණ්ඩායමකට නිසා.
බොහොම සුන්දර ක්‍රීඩකයෙක් - රන්ජිත් සියඹලාපිටිය
ක්‍රිස් ගේල් කියන්නෙ බොහොම සුන්දර ක්‍රීඩකයෙක්. ජය පරාජය සම සිතින් විඳ ගන්නේ කොහොමද කියල මහත්වරුන්ගේ ක්‍රීඩාවේ නියැළි ඉන්න ක්‍රීඩකයෙක්. ඒ වගේම තමන්ගේත් තම රටේත් අනන්‍යතාව ලෝකයා ඉදිරියේ පෙන්වා තිබෙන ක්‍රීඩකයෙක්. ඔහු මේ 20 යි 20 ලෝක කුසලාන තරගාවලියට ඇවිත් ක්‍රිකට් පිටියේ දැවැන්ත පහරවල් එල්ල කරල, නර්තනයේ යෙදිල අපේ රටටත් නරඹන්නන්ටත් හොඳ වින්දනයක් ලබා දුන්නු ක්‍රීඩකයෙක්.
ගැංග්නම් ස්ටයිල් ඩාන්ස් එක නිසා මුළු ලෝකයේම අවධානය දිනා ගෙන - අනර්කලී
ක්‍රිස් ගේල් කියන ක්‍රීඩකයා ගැන හැමෝම දන්නවා. ඔහු මුළු ලෝකයම හොල්ලපු වර්ල්ඩ් ක්ලාස් බැට්ස්මන් කෙනෙක්. අපේ රටට සනත් ජයසූරිය, මුරලි, සංගා, මහේල වටිනවා වගේ ක්‍රිස් ගේල් කොදෙව් දූපත්වල ලොකු බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව ඒ විදිහටම ඉටු කරන්න ඔහු දායකත්වය ලබා දුන්නා. ඔවුන් හරිම විනෝදයෙන් ඉන්න ජාතියක්. මම පොතක කියවල තියෙනවා ඔවුන් ගැන.
“හිනාවෙන්න කවුරුවක් වත් අහන් ඉන්නෙ නෑ වගේ, නටන්න කවුරුවක් වත් බලන් ඉන්නෙ නෑ වගේ ජීවත්වෙන්න අනුන් ගැන නොව තමන් වෙනුවෙන්ම” ඉතින් ක්‍රිස් ගේල් ක්‍රිකට් පිටියේ දී මේ ජීවන රටාව පෙන්නුවා. ඒ වගේම ඔහු මුළු ලෝකයටම ඔහුගේ අධිෂ්ඨානය පෙන්නුවා. ඔහු 20 යි 20 තරගාවලියට පෙර ශූරතාව ලබාගැනීම බලාපොරොත්තුව බව කිව්වා. ඒ වගේම ඒ ජය ඔවුන් ලබාගත්තා. එය වත්මන් යොවුන් පරපුරට හොඳ උදාහරණයක්.
ඔවුන් ක්‍රිකට් පිටියේ දී කඩුල්ලක් දවාගත් වෙලාවට එකට එකතු වෙලා සතුට පල කරනවා අපි දකිනවා. ක්‍රිස් ගේල් මේ අතරින් ගැංග්නම් ස්ටයිල් ඩාන්ස් එක නිසා මුළු ලෝකයේම අවධානය දිනා ගෙන ඉවරයි. එය වෙනත් කෙනෙක්ගේ නර්තනයක් වුණත් ක්‍රිස් ගේල් ඒක තමන්ගේ කරගත්තා. ඔහු ක්‍රිකට් පිටියට ඇවිත් තරග කරන්නේ එය හරිම සිම්පල් දෙයක් විදිහට. නමුත් ජයග්‍රහණය ලබා ගන්නට අවශ්‍ය අධිෂ්ඨානය තිබේනම් එය ඉටුකරගන්න පුළුවන් කියන දේ ක්‍රිස් ගේල් සනාථ කරල තියෙනවා.
ක්‍රිස් ගේල් විශිෂ්ඨ ලෙස ගැංග්නම්ඩාන්ස් එක කරනවා - රවින්ද්‍ර රන්දෙණිය
ඇත්තටම කියනවා නම් වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩා කරන අය අතරින් ක්‍රිස් ගේල් ඉතාමත් ආකර්ෂණීයම පුද්ගලයා කියන එක ගැන විවාදයක් නැහැ. ඉස්සර ඉඳලම බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙ ලක්ෂණයක් තමයි ඔවුන් නරඹන්නන් පිනවමින් තමයි ක්‍රීඩා කළේ. විවියන් රිචඩ්ස් වැනි අය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වුණාට පස්සෙ ඒ යුගය අවසන් වෙලා තිබුණෙ.
ඒ සමඟම ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව, ඒ දක්ෂකම් පවා ඈතට තල්ලු වුණා. ඔවුන් මේ ලෝක කුසලානය දිනා ගත්තේ වසර 38 කට පස්සෙ වීම තුළින් ඒ බව ඔප්පු වෙනවා. ක්‍රිස් ගේල් තමයි ඒ පිබිදීම කළේ කියන එක කියන්න ඕන. ඔහු නරඹන්නන්ට ක්‍රීඩාවේ ආස්වාදය ලබාදෙන අතරම ඉතාම හොඳ ප්‍රාසාංගික අත්දැකීමකුත් ලබා දෙනවා. අපේ සනත් ජයසූරිය, කළුවිතාරණ ඕවර 50 තරගවලදී හඳුන්වා දුන් වේගයෙන් පන්දුවට පහරදීමේ ශෛලිය 20 යි 20 තරගවලදී තවත් වේගවත් කිරීමට අවශ්‍ය වුණා.
ඉතින් ක්‍රිස් ගේල් මේ 20 යි 20 තරග රටාවට ඔබින ලෙස එය ගෙනාවා. මේ අතර ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන්ගේ නමත් කියවෙනවා. නමුත් ක්‍රිස් ගේල් ඒ සියලුම දෙනා අබිබවා ගිය ප්‍රහාරයක් දියත් කළා. ඔහු හරිම සැහැල්ලුවෙන් තමයි ක්‍රීඩා කරන්නෙ. ඒ වගේම මහත්මා ගතිගුණ ඇතිව ක්‍රීඩා කරනවා. මට මතකයි එක තරගයකදී ඔහු පන්දු යවන්නට එද්දී ඔහුගේ අන්තයේ සිටිය පිතිකරුවා ඉදිරියට යනවා. එතැනදී ගේල්ට ඔහු දවාගන්න අවස්ථාව තිබුණත් එහෙම කරන්නෙ නෑ. පෙන්නලා කියනවා “මට ඕනනං දවාගන්න පුළුවන්” කියලා.
මේ තරගාවලිය පුරාම කොදෙව් කණ්ඩායමේ තුරුම්පුව වුණේ ක්‍රිස් ගේල්. ඉතින් අවසන් තරගයේ ක්‍රිස් ගේල් කියන දැවැන්තයා වට්ටා ගත්තට පස්සෙත් අපේ අයට ජයගන්න බැරි වුණ එක ගැන පොඩි දුකක් හිතේ තියෙනවා. ඒ කොහොම වුණත් ඔහු අපට ක්‍රීඩා පිටිය මැද ඉඳගෙන අපූරු වින්දනයක් ලබා දුන්නා. ගැංග්නම් ස්ටයිල් නර්තනයෙන් කියන්නේ අශ්වයා පිටේ යන විදිහ නිරූපණය කිරීමක්. ක්‍රිස් ගේල් ඉතාම විශිෂ්ට ලෙස එය නිරූපණය කළා. විශේෂත්වය වන්නේ ඉතාම දක්ෂ ලෙස මුහුණේ ඉරියව්වලින් පවා ඊට අලංකාරයක් එක් කිරීමයි. අනිත් අයත් ඔහු අනුකරණය කරමින් තරගයට අලංකාරයක් එක් කළා. ඔවුන් ඇත්තටම මේ ශූරතාව දිනා ගත්තේ ඔවුන්ගේ දක්ෂතාව නිසාම බවත් කියන්න ඕන
