බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

"බිඳුණු පතිවත හදන පිළිවෙල" නමින් මීට පෙර අප විසින් බිඳුණු කන්‍යා පටල සෑදීම පිළිබඳ පුවතක් පලකිරීමෙන් පසු බොහෝ පුද්ගලයන් අප වෙත ඊමේල් පණිවිඩ එවමින් එම වෛද්‍යවරයා සම්බන්ධ කරගත හැකි ආකාරය ගැන විමසා සිටියා.

බිඳී ගිය කන්‍යා පටල නැවත සෑදීම විදෙස් රටවල සිදුවුනද ලංකාවට එය අලුත් අත්දැකීමක්. මෙතෙක් කලක් එවැනි ශල්‍යකර්ම සිදුවුනේ හොර රහසේය. නමුත් මේ වනවිට එය නීත්‍යානුකූලව ලංකාවේ සිදුවෙනවා.

IHIPST ආයතනය මෙය ලංකාවේ සිදු කරන අතර මෙම සඳහා වෙබ් අඩවියක්ද පවතී. අන්තර්ජාලය හරහා ඔවුන්ව සම්බන්ධ කරගත හැකි බවයි එහි සඳහන් වෙන්නේ.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ගොසිප්9 අපි ඔවුන්ගෙන් ඒ පිළිබඳ කරුණු විමසා සිටියා.


එවිට ඔවුන් අප සමඟ පැවසුවේ මෙය නීත්‍යානුකූල ශල්‍යකර්මයක් වන බවත් යුරෝපයේ ශල්‍ය වෛද්‍යවරුන් ලංකාවට පැමිනෙන බවයි. (එම වෛද්‍යවරයා පිළිබඳ විස්තර මෙතනින්.)

ශල්‍යකර්මය සඳහා ලංකාවේ ශල්‍යාගාර ඔවුන් කුලියට ගන්නා අතර වැයවන මුදල එයට භාජනය වන කාන්තාවන්ගේ වයස අනුව වෙනස් වන බවත් ඔවුන් අපට පවසා සිටියා.

මේ සඳහා වැයවන මුදල දල වශයෙන් කෙතරම් මුදලක්ද යන්න අප ඔවුන්ගෙන් දිගින් දිගටම විමසීමේදී ඒ සඳහා යූරෝ 1,200ක මුදලක් (ආසන්න වශයෙන් රු. ලක්ෂ 2ක්) වැයවන බවයි අපට දැනගැනීමය හැකි වුනේ.

කන්‍යා පටලය නැවත ප්‍රකෘති කිරීම හෙවත් හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්මය සරල හයිමොනොප්ලාස්ටි, ඇලෝප්ලාන්ට් (Alloplant) ලෙස වර්ග දෙකක් වේ.

සරල හයිමොනොප්ලාස්ටි යනු හයිමොනොප්ලාස්ටි ක්‍රියාදාමය බාහිර නිර්වින්ද තත්ත්වය යටතේ කන්‍යාපටලයේ ඉරාගිය කොටස් කුඩා රුධිර නාල වලින් රුධිරය ගලා නොයන පරිදි ඉවත් කර බිඳී ගිය කන්‍යා පටලයේ ඉතිරි ශේෂයන් එකට එකතු කොට කන්‍යාපටලයේ ඉරීම වැසෙන පරිදි මැසීමෙන් කරන ශල්‍යකර්මයි.

කන්‍යාපටලය සාපේක්ෂව රුධිර නාල අවම අවයවයක් නිසා උණ ගතිය සහ ආසාදනය වැනි දෑ ඇතිවීමේ අවධානම අවම වේ. ශල්‍යකර්මයෙන් පසුව පළමු ලිංගික සම්බන්ධතාවයකදී කන්‍යා පටලය නැවත ඉරීමකට ලක්වන අතර යම් වේදනාවක් සහ රුධිරය ගලා යෑමක් සිදු වේ.

ඇලෝප්ලාන්ට් (Alloplant) යනු කන්‍යාපටලය නැවත පිහිටුවීමට නොහැකි නම් ශරීරයේ වෙනත් කොටසකින් ලබාගත් සියුම් පටලයක් කන්‍යාපටලය ලෙස ක්‍රියාකරන පරිදි ඇතුළු කිරීමෙන් කරනු ලබන ශල්‍යකර්මයයි.

බාහිර නිර්වින්දනය යටතේ පැය දෙකක ශල්‍ය කර්මයක් ලෙස මෙය කරන අතර එය සත්‍ය කන්‍යාපටලයක් නොවන නමුත් හඳුනා ගැනීම පහසු නොවේ. නමුත් ශල්‍යකර්මයෙන් පසුව පළමු ලිංගික සම්බන්ධතාවයකදී රුධිරය ගලා යෑමක් සිදු වේ.

මෙම ශල්‍යකර්ම පිලිබඳව එම වෙබ් අඩවියට මෙතනින්.

කන්‍යා භාවය පිළිබඳ නූතන ලාංකීය කාන්තාවන්ට එතරම් වටිනාකමක් නැති අතර බස් රථයේදී පැය කිහිපයක් තුල හඳුනාගත් ව්‍යාජ පෙම්වතාට පවා එය පූජා කල පුවත් දිනපතා අසන්නට ලැබේ. නමුත් එහි සැබෑ වටිනාකම නැවත පිහිටුවීමට යන ලක්ෂ 2ක මුදලට වඩා බොහෝ වටී.

කෙසේ වුවද මනෝවිද්‍යා උපදේශක සහ මනෝ චිකිත්සක උදාර දේවමුණී මහතා කන්‍යාභාවය පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.

ලිංගිකත්වය සහ කන්‍යාභාවය පිළිබඳ මිථ්‍යාව අංක 1

කන්‍යාභාවය සහිත කාන්තාවක් සාර්ථක යුග දිවියක් සඳහා අත්‍යාවශ්‍ය කරුණක් යන්න බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාවේ මුල් බැසගත් සංකල්පයකි. මෙහිදී කන්‍යාභාවය පිරික්සීම සඳහා භාවිතා කරන මුලික ක්‍රමවේදය වන්නේ කන්‍යාපටලය (Hymen) බිඳී තිබේදැයි පිරික්සීමයි. එනම් මංගල මධුසමයේදී හෙවත් ප්‍රථම ලිංගික එක්වීමේදී කන්‍යාපටලය බිඳී රුධිර වහනයක් වුවහොත් කන්‍යාවක බවත් නැතහොත් විවාහයට කලින් ලිංගික සබඳතාවයක් පවතන ලද අයෙකු (කන්‍යාවක නොවන) බවත්ය.

එනම් සුදු පැහැති රෙදි කඩක් මත මධුසමය ගත කිරීමෙන් සහ ඒ මත තැවරෙන රුධිරය පිරික්සීමෙන්. මෙම සංකල්පය අප සමාජයේ කොතරම් මුල් බැස තිබේද යන්න පැහැදිලි වන්නේ පෙරකී ක්‍රමවේදය සැපිරීමට නොහැකි වූ විවාහයට කලින් ලිංගික සබඳතා නොපවත්වන ලද කතුන්ට සමාජයේ මුහුණ දීමට සිදු වී ඇති තත්වය විපරම් කොට බැලීමේදීය.

එයිනුත් සිය දිවි නසාගත්, සිය දිවි නසා ගැනීමට උත්සාහ ගත්, ශාරීරික වද හිංසනයට භාජනය වූ, විවාහය නීතිමය දික්කසාදයකින් අවසන් වූ, නීතිමයව වෙන් නොවුනද විවාහ ජීවිත ගත නොකරන්නා වූ (Separated) සහ විෂාදය (Depression) වැනි මානසික රෝගයන්ට ගොදුරු වූ අවස්ථා පිලිබඳ සිද්ධීන් කොතෙකුත් වාර්ථා වී තිබේ (මා පෞද්ගලිකව මනෝ ප්‍රතිකාර කර තිබෙන සිද්ධීන්ය).

එබැවින් මෙම ක්‍රමවේදය කොතරම් දුරට නිරවද්‍යදැයි විද්‍යාත්මකව සලකා බැලීම කාලෝචිතයැයි මාගේ හැඟීමයි. ඒ අනුව කන්‍යාපටලය පිලිබඳව අප දැනුවත් වීම වැදගත්ය. මූලිකවම අවබෝධ කර ගත යුතු කරුණ නම් මෙම කන්‍යාපටලය සෑම කාන්තාවකටම නොපිහිටන බවය.

උපතින්ම කන්‍යාපටලය නොමැති කාන්තාවන්ද සමාජයේ කොතෙකුත් සිටී. ඒ අතරම ක්‍රීඩා වැනි ශාරීරික ව්‍යායාම් සහිත ක්‍රියාකාරකම් වලදීද (විශේෂයෙන්ම Gymnastic, Cycling, Stretching Exercise), වැටීම්, වැදීම් වැනි අනතුරුවලදීද මෙම කන්‍යාපටලය බිඳී යා හැකිය.

ඒ හැරුනුකොට විශාල සිදුරු සහිත කන්‍යාපටල සහිත කාන්තාවන්ද, ඇදෙන සුලු කන්‍යාපටල සහිත කාන්තාවන්ද ඇත. මෙම ඇදෙන සුලු කන්‍යාපටල සහිත කාන්තාවන්ගේ කන්‍යාපටලය බිඳී යන්නේ පලමු දරු උපතේදීය. ඒත් එය සාමාන්‍ය දරු උපතක් (Normal Delivery) වුවහොත් පමණකි.

ඒ අනුව පෙර කී එකදු කාන්තාවකගේ හෝ කන්‍යාපටලය මංගල යහනේදී බිඳෙන්නේ නැත. තවද තවත් කොටසකගේ කන්‍යාපටලය පිහිටියද බිඳීයාමේදී රුධිරවහනයක් සිදු නොවේ. ඒ අනුව පෙර කී කිසිවෙකුට කන්‍යාභාවය පිලිබඳව පරීක්ෂණය අදාල නොවේ.

ඒ අනුව මංගල යහනේදී කන්‍යාභාවය පිරික්සීමේ ක්‍රමය අසාර්ථක එකක් බව ඔබටම පසක් වනු ඇත. නමුත් මෙම ක්‍රමය හේතු කොට ගෙන තමන්ට කන්‍යාභාවය ඔප්පු කිරීමට නොහැකි වේයැයි යන බිය නිසා Vaginismus තත්ත්වය, Dyspareunia තත්වය, ලුබ්ධිය අඩු වීම (Loss of Libido), සුරාන්තයට පත් වීමට ඇති නොහැකියාව හෙවත් ඇනොර්ගැස්මියා තත්ත්වයන්ට (Anorgasmia) ගොදුරු වූ කාන්තාවන්ද, තම පෙම්වතිය දෙමාපියන් ඉදිරියේ වැරදිකරුවකු වේයැයි බියට ලිංගික ප්‍රාණවත්භාවය අඩු වීම (Erectile Dysfunction), ක්ෂණික මෝචනය (Premature Ejaculation) වැනි තත්වයන්ට ගොදුරු වූ පුරුෂයින්ද මට අනන්තවත් ප්‍රතිකාරවලදී හමූ වී තිබේ.


-සම්බන්ධිත පුවත්-
බිඳුණු පතිවත හදන පිළිවෙල

Related Posts Plugin for WordPress, Blogger...