හත්වන දිනටත් ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගුවන් ප්‍රහාර



ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර නැවතත් ඇතිවී තිබෙන ගැටුම් වල 7 වෙනි දවස අදයි. F-15 ප්‍රහාරක යානා යොදාගන ඊශ්‍රායලය අද උදෑසනද ගාසා තීරයට ප්‍රහාර එල්ල කර තිබුනා.

Pillar of Defence යනුවෙන් නම් කර ඇති මෙම ක්‍රියාන්විතය යටතේ ඊශ්‍රායලය විසින් ඊයේ වනවිට ගාසා තීරයට එල්ල කර තිබූ මිසයිල සංඛ්‍යාව 1,350ක් පමණ වේ.

පලස්තීනය විසින් ඊශ්‍රායලයට එල්ල කර ඇති රොකට් සංඛ්‍යාව 640ක් පමණ වන අතර ඒවායින් 99ක්ම ඇද වැටී තිබෙන්නේ ඔවුන්ගේ දේශසීමාව තුළමයි.

ඊශ්‍රායලයට ඇතුළුවූ රොකට් වලින් 330ක් පමණ පසුගිය වසරේ ඊශ්‍රායලයේ පිහිටවූ Iron Dome මිසයිල ආරක්ෂණ පද්ධතිය මඟින් වලක්වා තිබෙන නිසා එරට ජන ජීවිතය අඩාල වී නැත.


ඊශ්‍රායලයේ අයන් ඩූම් මිසයිල ආරක්ෂක පද්ධතිය

ප්‍රති මිසයිලයක් නිකුත් කරමින් තම රටට පැමිනෙන මිසයිල, රොකට් ප්‍රහාර හා කාලතුවක්කු ප්‍රහාර විනාශ කිරීම හා දිශාව වෙනස් කර වෙනතකට යොමු කිරීමට ඊශ්‍රායලය විසින් පිහිටුවා තිබෙන ආරක්ෂක පද්ධතිය "අයන් ඩූම් මිසයිල ආරක්ෂක පද්ධතිය" යි.

"අයන් ඩූම්" මඟින් ස්වයංක්‍රීයව ප්‍රති මිසයිල නිකුත්වූ වන අයුරු පහතින්.




ප්‍රති මිසයිලයක් එල්ල කිරීම සඳහා ගතවන කාලය තත්පර 30කි. මෙම එක ප්‍රති මිසයිලයක් සඳහා ඊශ්‍රායලයට වැයවන මුදල ඇමරිකානු ඩොලර් 10,000ක් හෙවත් රුපියල් ලක්ෂ 13කි.

ඊශ්‍රායලයට එල්ලවන රොකට් නිපදවා තිබෙන්නේ ඉරානයේ බවයි ඊශ්‍රායලය චෝදනා කරන්නේ. එමෙන්ම පසුගිය වසර 12ක කාලය තුල හමාස් සටන්කාමීන් විසින් රොකට් ප්‍රහාර 12,000ක් පමණ ඊශ්‍රායලයට එල්ල කර තිබෙන බවත් ඊශ්‍රායලය පවසනවා.

තමන් ප්‍රහාර එල්ලකරන්නේ හඳුනාගත් ත්‍රස්තවාදී මූලස්ථාන වෙත බව ඊශ්‍රායලය පැවසුවද මෙම ප්‍රහාර වලින් මේ වන විට පලස්තීනයේ 111 දෙනෙකු මියගොස් තිබෙනවා.

එයින් 22ක් කුඩා දරුවන්. හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාර නිසා මියගිය ඊශ්‍රායල් ජාතිකයින් සංඛ්‍යාව 3ක්.


මීට පෙර ඊශ්‍රායලය හා පලස්තීනය මේ ආකාරයෙන් ගැටුනේ 2008 වසරේ දෙසැම්බර් මාසයේය. සාමාන්‍යයෙන් දෙරට අතර රොකට් ප්‍රහාර සිදුවුනත් මෙවර මෙම ගැටුමට මුල පිරුවේ හමාස් සංවිධානයේ නායකයෙකු වන අහ්මඩ් ජමාරි ඉලක්ක කර ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කිරීමයි.

එම ප්‍රහාරයේ වීඩියෝ ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ ෆේස්බුක් පිටුව හා යූටියුබ් චැනලය ඔස්සේ අන්තර්ජාලයට එක්කර තිබුණා.

මෙයට හමාස් සංවිධානය විසින් ප්‍රතිචාර දැක්වූයේ ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ලකිරීමෙනුයි. එයට ඊශ්‍රායලය ප්‍රතිචාර දැක්වූයේ බර අවි වලින් ප්‍රහාර එල්ලකිරීමෙනි.

ගාස තීරය යනු වර්ග කිලෝමීටර් 365ක කුඩා ප්‍රදේශයකි. එහි ජීවත් වන ජනගහනය ලක්ෂ 17ක්. ලෝකයේ වැඩිම ජනගහන වර්ධන වේගයක් ඇති ප්‍රදේශ අතුරින් 7 වන ස්ථානයේ සිටින්නේ මෙම ගාසා තීරයයි.

මෙවර ගැටුම් ඇතිවන අතරතුරේ ඊශ්‍රායලයේ රාජ්‍ය වෙබ් අඩවි හැක් කිරීම සඳහා මිලියන 44ක් පමණ වාරයක් උත්සාහ දරාතිබූ බවයි වාර්තා වෙන්නේ.

ඊශ්‍රායල් ජනාධිපතිවරයාගෙ වෙබ් අඩවියට ඇතුළු වීමට දස මිලියන වතාවක්ද, විදේශ ඇමතිවරයාගේ වෙබ් අඩවියට හත් මිලියන වතාවක්ද ඇතුළුවීමට උත්සාහ දැරූ අවස්ථා ඒ අතර වුනා.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ මිසයිල ප්‍රහාර වල වීඩියෝ හා ජායාරූප පහතින්. හමාස් සංවිධානයේ නායකයෙකු වන අහ්මඩ් ජමාරි ඉලක්ක කර එල්ල කල ප්‍රහාරය පලමු වීඩියෝවේ දැක්වේ.

































Related Posts Plugin for WordPress, Blogger...