මාලිනී ෆොන්සේකා තැබූ වාර්තාව උදයන්ති සම කරයි

සිනමා වංශකතාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකා "සැලී" චිත්‍රපටයේ චරිත 5 ක් රඟපාමින් සිංහල චිත්‍රපටයක වැඩිම චරිත ප්‍රමාණයක් රඟපෑ නිළිය ලෙස තැබූ වාර්තාව උදයන්ති කුලතුංග විසින් පසුගියදා සම කර තිබුණා.

ඒ "භව සරණ" ටෙලි නාට්‍යයේ සුභද්‍රා, සමනලී, මුදිතා , වත්සලා සහ අවතාරයක් ලෙසින් චරිත පහක් ඇය රඟපාපාමින්.

එකම කථාව චිත්‍රපටයක් හා ටෙලි නාට්‍යයක් ලෙස "භව තරණ" චිත්‍රපටය හා "භව සරණ" ටෙලි නාට්‍යය ලෙස රූගත කිරීම් කර තිබූ අතර මාස ගණනක රූගතකිරීම් වලින් පසු ගෙදර යද්දී ඇගේ නිවසට හොරු පැන තිබූ බවයි පවසන්නේ.


ඒ චරිත 5 ගැන කතා කළොත්?
සුභද්‍රා කියන්නේ ලන්දේසි යුගයේ වලව්වක ජීවත් වූ ළමා තැනීකෙනෙක්. සමනලී කියන්නේ ඇගේ මේ භවය. වයස අවුරුදු දහයක විතර ළමයකුගේ මානසික මට්ටමක් තියෙන සමනලී මන්ද මානසික තරුණියක්. සමනලීට මිහිරි හඬක් තියෙනවා. ඒ හඬට ආදරය කරන සංගීතවේදියෙක්.

ඇය මන්ද මානසික මට්ටමක තරුණියක් බව වසන් කරලා ලස්සනට සරසලා වත්සලා කියන නමකින් ගායන ලෝකයට එකතු කරගෙන එනවා. සමනලීගෙ පියාගෙන් වෙනත් ගැහැනියකට දියණියක් ඉන්නවා. ඇය මුදිතා. මුදිතා කියන්නේ මුඩුක්කුවක ඉන්න කටකාර ගැහැනියක්. මේ අතර සමනලී මිය යනවා. සමනලීගේ භූතාත්මය සැරිසරනවා. මේ චරිත 5 ම රඟපාන්නේ මම.

නිළියකට ලැබෙන සුවිශේෂ අවස්ථාවක් උදයන්තිට උදාවුණේ?
ඇත්තෙන්ම ඔව්, මම මේ නිර්මාණය වෙනුවෙන් මාස 8 ක් විතර වෙන් කරලා තිබුණා. ඒ කාලය තුළ ලැබුණු නිර්මාණ රාශියක් ප්‍රතික්‍ෂේප කළා. ඒ වගේම සමනලීගෙ චරිතය වෙනුවෙන් මන්ද මානසික මට්ටමේ ඉන්න අයව මුණ ගැහිලා ඒ වගෙ අයගෙ හැසිරීම් අධ්‍යයනය කළා.

කලා නිර්මාණයක් වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරලා තෘප්තිමත්ව ගෙදර එද්දී මුහුණ දුන්නේ අතෘප්තිමත් අත්දැකීමකට.
ඔව්, මම එකදිගට මාස කිහිපයක් දුර පළාතක ඉන්නකොට අම්මට තනියම ගෙදර ඉන්න බැරි හින්දා හිටියේ අක්කලගෙ ගෙදර. අපේ ගෙදර ඉන්නේ අම්මයි මමයි විතරයිනේ. ඉතින් අපි ආයෙම ගෙදර එද්දී දකින්න ලැබුණේ දොරවල් ජනෙල් කඩල දාපු ගෙයක්. රත්තරං බඩු, සල්ලි, ලැප්ටොප් ඇතුළු ගෙදර තිබුණු වටිනා බඩු මොකුත්ම නැහැ. ගෙදරට හොරු පැනලා, ගෙදර තිබුණු හැමදෙම අරගෙන ගිහින්.

නැති වූ බඩු මුට්ටුවල වටිනාකම කීයක් විතරද?
ලක්ෂ දොළහකටත් වඩා වැඩියි.

නිතියේ පිහිට පැතුවෙ නැද්ද..?‍
පොලිසියට කිව්වා. ඒත් තවම හොරු ගැනවත් නැති වූ බඩුමුට්ටු ගැනවත් කිසිම ආරංචියක් නැහැ.

ඒ වේදනාකාරී අත්දැකීමට මුහුණ දුන්නේ කොහොමද?
ඒ වගෙ දෙයක් වෙලත් දුක් වුණේ නැහැ කිවුවොත් පුදුමයක්නේ. මමත් දුක්වුණා. ඒත් මොනදේ සිදුවුණත් මහා හයියෙන් හඬා වැටිලා ඒ මත්තේම හැපෙන සිරිතක් මට නෑ. මොනව කරන්නද මේ සිදු වූ දේ ගැනත් හිත හදාගත්තා.

ජීවිතයට රැකවරණයක් දෙන්න කෙනෙක් හිටියනම් මේ වගෙ දේවල්වලදී උදයන්තිට ලොකු ශක්තියක් ලැබෙයි.
ජීවිතයට රැකවරණයක් ලබාගන්න ජීවිතයට ළංකරගත්තු අය හින්දා දුක් විඳන කාන්තාවෝ අනන්නවත් අපේ සමාජයේ ඉන්නවා. ආදරයෙන් ලැබෙන පිරිමි තමන්ගෙ බිරිඳ වෙනුවෙන් ම කැපවෙලා වැඩිම වුණොත් අවුරුද්දක් ඉඳීවි. ඊට පස්සෙ තව පෙම්වතියක් හොයාගනීවි. ඒක අද සමාජයේ ‍පොදු දෙයක්.

තමන්ගෙ බිරිඳට පණවගේ ආදරය කරන හොඳ පිරිමිත් මේ සමාජයේ ඇත්තේම නැද්ද?
එහෙම කෙනෙක් මුණගැහුණු දාක මමත් එයාගෙ බිරිඳ වේවි.

තනිකඩව ඉන්න හින්දා නේද උදයන්ති මේ තරම් කටකතා අහගන්නේ?
ඔය කටකතා හදන අය එහෙම කරන්නේ තමන්ගෙ මානසික මට්ටම අනුව තමන් ආශා කරන දේවල් ලබා ගන්න බැරි අය ඒ දේවල්වලට වෛර කරනවා. මට බණින කටකතා හදන අයගේ හිත්වල තියෙන දේවල් තමයි කටකතා විදියට නිර්මාණය වන්නේ. මම ඒවා ගැන හිතලා කම්පා වෙන්නේ ඇයි?

-සම්බන්ධිත පුවත්-
උදයන්ති හොල්මනක් වෙයි !
උදයන්තිගේ විවාහ නොවීමේ අදහස අත්හරි

Related Posts Plugin for WordPress, Blogger...