ආර්යාව නිසා ආදිවාසීන්ට පෙරහැර බලන්න බැරිවුනැයි චෝදනාවක්

වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහැර සමයේ ආදිවාසීන් දළදා මාලිගාව වෙත පැමිණ මී පැණි පූජා කිරීම වසර 15 ක පමණ සිට පැවත එන වැදි රැහේ චිරාගත සම්ප්‍රධායකි.

එලෙස මී පැණි පූජාව සඳහා පසුගිය 28 වන දා මහනුවරට පැමිණි ආදිවාසීන් පිරිස උදෑසන දළදා පූජාවට සහභාගීවී මාළිගාවේ නිලමේවරුන් හා ලේකම්වරයා මුණගැසී තිබෙනවා.

එහි දී පැමිණ ඇති ආදිවාසීන් 40ක පිරිසකට පෙරහැර නැරඹීමට ආසන පහසුකම් ඔවුන් ඉල්ලා ඇති අතර මාළිගාවේ ලේකම්වරයා එම කටයුත්ත පවරා තිබෙන්නේ ජයම්පති නැමැති නිලධාරියෙකුටයි.

පසුව ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් ඇතුළු පිරිස මහනුවර අවට සිද්ධස්ථාන වැද පුදා ගොස් නැවත පැමිණ තිබෙන්නේ සවස්වරුවේදී.

සවස් වරුවේ පෙරහැර නැරඹීම සඳහා පැමිණි විට තමන්ට වෙන් කළ අසුන් නොවූ හෙයින් ආදි වාසීන් ඒ පිළිබඳව විමසා ඇති අතර එහිදී දැනගන්නට ලැබී තිබෙන්නේ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැමිණෙන බැවින් එම ආසන ආදිවාසීන්ට වෙන් කළ නොහැකි බවයි.


දළදා පෙරහැර නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටි ආදීවාසී නායකයා ඇතුළු ඔහුගේ රැහේ උදවියට පෙරහැර නැරඹීම සඳහා සම්ප්‍රධායිකව ලබාදෙන අසුන් නොලැබී බලවත් අසාධාරණයක් සිදුවී ඇති බැවින් ඔවුහු පෙරහැර නොබලාම පෙරලා දඹානට ගොස් තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ වන්නිලා ඇත්තන් පවසා ඇත්තේ "ජනාධිපති හූරාගේ මහ තැනීලා ඇත්තෝ මංගච්ච වෙනවා යැයි කියමින් තමන් ඇතුළු පිරිස සඳහා වෙන්කර තිබූ ආසන පැහැර ගැනීමෙන් තමන්ට හා තම රැහේ ඇත්තන්ට මදි පුංචිකම් කළ බවයි."

මේ පිළිබඳව පුවත්පතක පළවීමත් සමඟ එය දුටු අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් බලවත් කනස්සල්ලට පත්වී තිබෙන අතර රන්දෝලි පෙරහැර පසුගිය දෙවනදා අවසන් වීමෙන් පසුව දළදා පෙරහැර නිමවී කරඬුව ආදාහන මළුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කළ අවස්ථාවේදී උන් වහන්සේ ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා.



මාධ්‍යට අදහස් දැක්වූ මහනාහිමියන් පවසා සිටියේ දියවඩන නිලමේ ඇතුළු කාර්ය මණ්ඩලය ආදිවාසීන්ට සැළකූ ආකාරය ගැන තමන් බලවත් කම්පාවට පත්වූ බවත් දියවඩන නිළමේවරයා ඇතුළු කාර්ය මණ්ඩලය ආදිවාසී නායකා හමුවී සමාව ගතයුතු බවත්ය.

"මම ඊයේ පත්තරේ දැක්කා ආදිවාසීන් ඇතුළු ඒ නඩයට පෙරහැර බලන්න දුන්නේ නැහැ කියළා. ඒක විශාල චෝදනාවක්. අපේ රටේ ආදිවාසී පරම්පරාවේ නායකයා ඒ අය සලකන්නේ ඒ අයගේ රජ්ජුරුවෝ හැටියට. ඒ වගේම මුළු ලෝකයම සලකන පුද්ගලයෙක් ආදිවාසී නායකයා. ඒක අපේ විහාර දෙකටත් චෝදනාවක්, දියවඩන නිලමේතුමාටත් චෝදනාවක්.

ඒ කාර්ය මණ්ඩලයේ දුර්වලතාවයක් නිසා ඒ විදිහේ අපහාසයක් චෝදනාවක් අපිට ප්‍රසිද්ධියේ අහන්න සිද්ධ වුණා. ඒ නිසා මේ අවස්ථාවේ මම මතක් කරනවා දියවඩන නිළමේතුමාටත්, ඒ කාර්ය මණ්ඩලයටත් ඒ නායකයා හම්බ වෙලා සමාව ගතයුතුයි කියා. එහෙම නැත්නම් ඒක විශාල චෝදනාවක්, අපහාසයක්."


එම වීඩියෝව පහතින්

Related Posts Plugin for WordPress, Blogger...